චීනය අද දවසේදී ලෝකයට අදාළ වෙන ආකාරය තේරුම් ගැනීමට නම් චීනය තුල ධනවාදයේ සංවර්ධනය සිදු වූ ආකාරය විමර්ශනය කල බැලිය යුතු වේ. මෙහිද එක් පැතිකඩක් ඉතාමත් වැදගත් වේ. එනම් බටහිර ධනවාදී සංවර්ධනය තුල බලය සහ ප්‍රචණ්ඩත්වය විසින් ඉටුකල කේන්ද්‍රීය කාර්යභාරය හා චීනය තුල එහි ඇති සාපේක්ෂව අඩු වැදගත්කමයි.
විශිෂ්ට ඓතිහාසික සමාජ විද්‍යාඥයෙකු වූ ජියොවානි අරිගි
විසින් රචිත බීජින්හි ඇඩම් ස්මිත් (Adam Smith In Beijing) කෘතියෙහි
ඔහු මෙලෙස ප්‍රශ්න කර සිටිනවා. චීනය හා යුරෝපය දෙගොල්ලන්ම 18 වන ශතවර්ෂය වනවිට
වෙළෙදපොළ ආර්ථිකයන් සංවර්ධනය කරගැන්මට සමත් වී තිබුණද, ඒවාවල ගමන් මග සපුරා වෙනස්
වූයේ ඇයි? චීනය පරිහානියට පත්වෙද්දී
යුරෝපය ගෝලීය ආධිපත්‍යයේ දිසාවට ගමන් කලේ කෙසේද?
ප්‍රචණ්ඩත්වය හා යුරෝපයේ ධනවාදී පරිවර්තනය
ඇඩම් ස්මිත් පාදක කර ගනිමින් අරිගි පවසා සිටින්නේ
කාර්මික විප්ලවයෙන් ශතවර්ෂ දෙකකට හෝ තුනකට පෙර යුරෝපයේ මෙන්ම චීනයේ ද වෙළෙදපොල
සම්බන්ධතා විසින් ශ්‍රම විභජනයට මග පෑදු බවත්, ඒ නිසාවෙන් ඵලදායීතාවය ක්‍රමිකව ඉහල
ගිය බවත්ය. අරිගි මෙන්ම අනෙක් අය චීනයේ මෙලෙස දිග හැරුණු සංවර්ධනය හැදින්වූයේ "කඩිසර
විප්ලවය" ලෙසයි. නමුත් මෙම සංවර්ධනය පවතින වෙළදපොළ ආර්ථිකයේ අවකාශීය හා
ආයතනමය සීමාවන් හමුවේ අසීමාන්තිකව සිදු විය හැක්කක් නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ
ඵලදායීතාවයේ ඵලයන් තවදුරටත් ස්වභාවික ලෙස අත්පත් කර ගත නොහැකි "ඉහල තලයේ
සමතුලිතතා උගුලකට"(high
level equilibrium trap) හසුවීමයි. චීනයට මෙම සීමාවන්ට මුහුණ දීමට සිදු
වුණා. මෙම සීමාවන් ආර්ථිකමය සීමාවන් පමණක්ම නොවේ. චීන අධිරාජ්‍යයේ පාලන තන්ත්‍රයට
දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම සදහා පැවති බලවත් වුවමනාව ආරම්භක අවධියේ පැවති
ධනවාදී පංතියට වෙළෙදපොල සීමාවන් පසු කරමින් ඉක්මනින් හා විශාල පරිමාණයෙන් ප්‍රාග්ධන
සමුච්චනය කිරිමට තිබුනු උවමනාවට බාධාවක් ලෙස ක්‍රියාත්මක වූවා.
මීට ප්‍රතිවිරුද්ධ ලෙස යුරෝපය ප්‍රාග්ධන සමුච්චනය සදහා
පැවති සමාජ බාධාවන් බිද හෙලූ අතර එය ධනවාදී සංවර්ධනයේ වේගවත් "යුරෝපීය
මාර්ගය" වෙත පමුණුවන ලදි. වාණිජවාදී
ගතිකයන්ට පමණක් සීමා නොවූ හා තීරණාත්මක ලෙස ධනවාදී වූ සමුච්චන ක්‍රියාවලියක් ඇති
කිරීමෙහි ලා කරුණු දෙකක් මෙහිදී කේන්ද්‍රීය
විය. පළමුවැන්න නම් ධනවාදී ප්‍රභූන් විසින් අභ්‍යන්තරිකව ක්‍රියාත්මක කරන ලද පංතිමය
ප්‍රචණ්ඩත්වයයි. දෙවැන්න නම් යුරෝපීය ධනවාදී රාජ්‍යයන් විසින් අනෙකුත් සමාජයන් වෙත
බාහිරව එල්ල කරන ලද රාජ්‍ය ප්‍රචණ්ඩත්වයයි.
යුරෝපයේ ධනවාදී සංවර්ධනය සිදුවූ ආකාරය සහ තම රට තුල
සිටින පහල පාන්තික ජනයාට එරෙහිව මුදා හල පංතිමය ප්‍රචණ්ඩත්වය ඉතාම ප්‍රබල ලෙස
සම්බන්ධයි. මේ සම්බන්ධ තීව්‍ර අවස්ථා දෙකකි.. ඒවා නම් 1490 සිට 1640 ගණන් දක්වා
එංගලන්තයේ පැවති කොටුකර ගැනීමේ ව්‍යාපාරය (Enclosure Movement) සහ 18 වන හා 19 වන ශතවර්ෂවලදී ඇති වූ කාර්මික
විප්ලවයයි. බැටලුවන් ඇති කිරීමට අවශ්‍ය තණබිම් ලෙසට ගොවිබිම් පරිවර්තනය කිරීමට
ගොවීන්ව ඔවුන්ගේ ඉඩම්වලින් පලවා හැරිය කොටු කර ගැනීම් වල ප්‍රචණ්ඩත්වය ගැන පොලානියි (Polanyi) ඉතා හොද විස්තරයක් සපයයි.
‘...කොටුකර ගැනීම් ඉතාම නිරවද්‍ය ලෙස ධනවතුන් විසින් දුප්පතුන්ට එරෙහිව දියත්
කල පංති යුද්ධයක් ලෙස හඳුනාගෙන ඇත. ප්‍රභූන් විසින් නීතිය හා සම්ප්‍රදාය උල්ලංඝණය
කරමින්, පැවති සමාජ පර්යාය විනාශ කරමින් සිටි අතර එය සමහරක් විය සිදු වූයේ ප්‍රචණ්ඩ
මාධ්‍යයන් හරහා වන අතර බොහෝ විට ඒ සදහා පීඩාවට ලක් කිරීම හා තර්ජනය කිරීම් සිදු
විය. අනුලංඝණීය සම්ප්‍රදාය අනුව දුප්පතුන් තමන්ට හා තමන්ගේ උරුමක්කරුවන්ට අයත්
යැයි සලකන ලද නිවාස කඩා බිද දමමින් පොදු දේපලවල දුප්පතුන්ට අයත් කොටස ප්‍රභූන්
විසින් කොල්ල කන ලදි. සමාජ වියමනට බාධා කරන ලදි. පාලුවට ගිය ගම්බිම් හා විනාශ වූ
නිවාස, ගම්මාන අනාරක්ෂික කරමින්, නගර නාස්ති කරමින්, ඒවායේ ජනතාව විනාශ කරමින්,
එහි පස දූවිලි බවට හරවමින්, ජනතාවට හිරිහැර කරමින් හා ගොවීන්ව හිගන්නන් හා සොරුන්
බවට පත් කරමින්, විප්ලවය වියරුවක් මෙන් ක්‍රියාත්මක
වූ කෲර ස්වභාවය පිලිබදව සාක්ෂි සපයන ලදි. එය සිදු වූයේ තැන් තැන්වල වුවද ඒවා කලු
තිත් ලෙස ලකුණු කරන ලද්දේ නම් ඒවා එක්වූ ඒකාකාරී විනාශයක ගති ලක්ෂණ අපට දැකගැන්මට
පුලුවන’
ගොවීන්
මෙම ක්‍රියාවලියට එරෙහිව කිහිප වතාවක් කැරලි ගැසූ අතර ඒවා අවසාන වූයේ දහස් ගණන්
ගොවීන් ළදරු කෘෂිකාර්මික ධනවාදී පංතියේ සේනාවන් අතින් ඝාතනයට ලක් වීමෙනි. පසු
වැඩවසම් යුගයේ අනුග්‍රාහක රාජ්‍ය විසින් නැගීගෙන ආ ප්‍රභූ පංතිය විසින් සිදු
කරන ලද අය කිරීම සීමා කිරීමට කරන ලද උත්සාහයන් ද විශාල වශයෙන් අසාර්ථක විය.
මීලග
උච්ච අවස්ථාව වූයේ කාර්මික විප්ලවය වූ අතර මෙහිදීද ධනවාදය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ
සමාජ පරිවර්තනය කෲර ස්වභාවයක් ගන්නා ලදි. පොලානියි විසින් සමාජ උපද්‍රවයක් ලෙස සලකනු
ලැබූ මෙම ක්‍රියාවලිය ගැන හෙතෙම මෙසේ විස්තර කරයි :
‘.. ක්‍රියාවලිය වැඩිදුර
යාමට පෙර වැඩ කරන ජනතාව අත්හැර දමනා ලද ස්ථානවල රැස් කරන ලදි. ඒවා හැදින්වූයේ
එංගලන්තයේ කාර්මික නගර ලෙසයි. ග්‍රාමීය ජනතාව මුඩුක්කු වාසීන් ලෙස අවමානුෂීකරණය
කරන ලදි. පවුල විනාශයේ මාර්ගයට ඇද දමා තිබිණි. "යක්ෂයාගෙ කම්හල්වලින්"
ඉවත ලන අපද්‍රව්‍ය හා යටවී ගම්බද පලාත් අතුරුදහන් වෙමින් පැවතිණි. සියලූම ආකාරයේ
අදහස් දරන්නන් හා දේශපාලන පක්ෂ, තත්ත්වාරක්ෂකවාදීන්, ලිබරල්වාදීන්, ධනවාදීන් හා
සමාජවාදීන් සියලු දෙනාම කිසිදු වෙනසකින් තොරව කාර්මික විප්ලවය විසින් ඇති කරන ලද
සමාජ කොන්දේසි හැදින්වූයේ මිනිස් පරිහානියේ අගාධයක් ලෙසයි’
අනෙකුත්
සමාජයන් යටපත් කරමින් ධනවාදය ගෝලීය බලවේගයක් බවට පත් කිරීමට යුරෝපීය රාජ්‍යයන්ට
පැවති හැකියාව පිලිබදව අරිගි ඉදිරිපත් කරන පැහැදිලි කිරීම මෙසේය :
‘.. වෙලදපොළ සම්බන්ධතා
පැතිරෙමින් පැවති යුරෝපය තුල සමකාලීනව රාජ්‍යයන් අතර නිරන්තරයෙන් යුද්ධ ඇති වීම
නිසාවෙන් ආයුධ කර්මාන්තය වර්ධනය විය. මෙලෙස වර්ධනය වූ ආයුධ කර්මාන්තය අසීමාන්තික
වූ නව නිපැවදීම්වල මූලය බවට පත් වුණු අතර ඒ මගින් වෙලදාම සදහා නව අවකාශයන් හා
නිශ්පාදනයයේ වැඩිවන පරිමාණයන් නිර්මාණය විය.’
කාර්මීකරණයේ
පැතිරීම මිලිටරි - කාර්මික සන්ධානයකට මුල් වූ අතර ඒ නිසාම යුරෝපීය රාජ්‍යයන් අතර
වූ තරගය තවත් තීව්‍ර වූවා පමණක් නොව යූරෝපීය නොවන රාජ්‍යයන් මිලිටරිමය වශයෙන්
පරදවමින් කොල්ලකාරී ප්‍රාථමික සමුච්චන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටද එය හේතු විය.
අරිගිගේ
තර්කය ශක්තිමත් කරමින් හෝ ෆන්ග් හන්ග් ලියන්නේ චීන අධිරාජ්‍යය තුල සියල්ලට ඉහලින්
පැවති අධිරාජ්‍යවාදී රාජ්‍ය විසින් පනවන ලද අවකාශීය හා ආයතනමය සීමාවන් වෙලදපල
සම්බන්ධතා තවදුරටත් වර්ධනය වීම වැලැක්වූ නිසාවෙන් සත්‍ය වශයෙන්ම ව්‍යවසායක වූ
පංතියක් මතු නොවූ නමුත් යුරෝපයේ රාජ්‍යයන් අතර පැවති යුද්ධ හා ගැටුම්කාරී ස්වභාවය
නිසාවෙන් එම යුද්ධ මූල්‍යනය කිරීමට යුරෝපීය රාජ්‍යයන්ට ජාත්‍යන්තරව විචල්‍ය ප්‍රාග්ධනය
සදහා තරග කිරීමට සිදු වූ බවයි. එහි ප්‍රතිඵලය වූයේ වෙනත් කිසිදු තැනක දැකිය නොහැකි
වූ ලෙස රාජ්‍ය හා ප්‍රාග්ධනය අතර සන්ධානයක් ගොඩ නැගීමයි. එම සන්ධානය තුල ධනපතීන්
රාජ්‍ය බැදුම්කර මිලදී ගනිමින් හා බදු ගෙවමින් රාජ්‍යය ව්‍යාප්ත වීමට සහය දෙන ලද
අතර රාජ්‍යය එයට ප්‍රතිඋපකාරයක් ලෙසට වෙලද මාර්ග වල පැවති සම්පත් අත්පත් කරගැනීමට
ධනපතීන්ට අවැසි ආරක්ෂාව සපයන ලදි.
යුද්ධය
හා ලාභය අතර වූ මෙම විවාහය 14 වන සියවස හා 16 වන සියවස අතර ඇති වූ ( යුරෝපයේ ගෝලීය
ව්‍යාප්තිය ආරම්භ වූයේදී මේ සමයේදීය) මිලිටරි ක්‍රමවේදවල ඇති වූ විප්ලවය මගින්
ශක්තිමත් කරන ලදි. මිලිටරි විශ්ලේෂකයින්
විසින් තරමක් අතිශයෝක්තියකින් පවසනා පරිදි ‘යුධ බලය හා මූල්‍ය තීව්‍ර ලෙස මධ්‍යගත
කිරීම තුලින් වෙඩි බෙහෙත් තාක්ෂණය දියුණු විය, යුද්ධ සිදුවූ ආකාරය වෙනස්
විය, එපමණක් නොව එම තාක්ෂණය සංවර්ධනය වූ සමාජ වෙනස්වීම කෙරෙහි ද එය හේතු විය’
හෝ
ෆන්ග් හන්ග් පවසන පරිදි -
‘..
මිලිටරි විප්ලය යුධ රාජ්‍ය නිර්මාණය කලේය. යුද්ධ කිරීමට ඇති හැකියාව මතම රදා
පැවැති රාජකීයයන්ගේ බලය පවත්වා ගැනීමට හා ඉහල නැංවීමට එය හේතු විය. කාලතුවක්කු සවි
කරන ලද බලකොටු නව මානයන්ට එලඹි අතර ඒවා මත කිරීමට සිදු වූ වියදම්ද විශාල යුධ හමුදා
හා ලෝකය වට කරමින් සිටි නාවික හමුදාවලට සිදු කරන ලද වියදම්වලට එකතු විය. සමහරෙක්
තර්ක කරන්නේ යුරෝපයේ ගෝලීය ආධිපත්‍යයට හේතු වූයේ මිලිටරි කටයුතුවල සිදු වූ විප්ලවය
බවයි. ඒ වන විටත් තුවක්කු භාවිතා කරන ලද රටවල් වන ඉන්දියාවේ හා චීනයේ වුවද සාම්ප්‍රදායික
හමුදාවන් පරදවා දේශපාලන හා වෙලද ආධිපත්‍යය පැතිරවීමට යුරෝපය සමත් වූයේ මිලිටරි බලය
නිසාවෙන්ය. කෙටියෙන් පවසන්නේ නම් නූතන ලෝක ඉතිහාසයේ ගමන්පථය තීරණය කිරීමෙහි ලා
මිලිටරි කටයුතුවල සිදු වූ විප්ලවය තීරණාත්මක ලෙස බලපාන ලදි. 15 වන හා 16 වන ශතවර්ෂ
මුල දී මුල්‍ය-මිලිටරි සන්ධානයන්ගෙන් සැදුණු කුඩා යුරෝපීය රාජ්‍යවල සිට යුරෝපීය
මට්ටමේ මිලිටරි බලය දක්වා සහ;
පසුව
සංස්කෘතික හා දේශපාලනික බලය ගෝලීයව පැතිරවීම දක්වා ඉවහල් වූයේ මෙම බලයයි’
බලහත්කාරය
හා හිංසනය සමග සිදු වූ හා විසිරී පැවති සම්පත් ධනපතීන්ගේ අතට දේශීයව හා ගෝලීයව
සංකේන්ද්‍රණය කරන ලද ප්‍රාථමික සම්මුචනයේ මෙම පලමු වටයෙන් පසුව ප්‍රාග්ධන සම්මුචචන
ක්‍රියාවලිය ස්වයං පෝෂිත විය.
කෙටියෙන්
පවසන්නේ නම් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ප්‍රාග්ධන සමුච්චනයේ හා ව්‍යාප්තියේ මෙහෙකාරිය
පමණක් නොවීය. මාක්ස් හා එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ චිත්‍රණය කරන ලද දෙය නැවත
සංශෝධනය කරන්නේ නම්;
චීන මහා
ප්‍රාකාර බිද දැමුවේ ලාභ භාණ්ඩ වලින් නිකුත් කරන ලද බර උණ්ඩ පමණක් නොවේ. ප්‍රාථමික
සමුච්චනය හා ව්‍යාප්තිය ශක්‍ය කරන ලද්දේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බටහිර බලයන්ගේ
බර උණ්ඩවලින්ය. ගෝලීය මට්ටමෙන් ස්වයංව බලගැන්වෙන හා ප්‍රතිනිශ්පාදනය වන ධනවාදය
ස්ථාපිත කිරීමට අවශ්‍ය වූ සමාජ දේශපාලන තත්ත්වයන් නිර්මාණය කිරීමට එය කේන්ද්‍රීය
විය.
Comments
Post a Comment