Skip to main content

ආණ්ඩු විරෝධයේ ප්‍රතිවිරෝධය

 



නාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව වසර දෙකක් ගත වී තිබෙන තැන, ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු මහජන විරෝධයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. මෙලෙස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අභියෝගයට ලක්වීමට සමගාමීව ආණ්ඩු විරෝධී කතිකාව ප්‍රබල වෙමින් පවතී. ආණ්ඩු විරෝධී කතිකාව තුල ආධිපත්‍යය සඳහා පොර බඳින විකල්ප ව්‍යාපෘතීන් දෙකක් මූලික වශයෙන් දැකගත හැක ; ඒ සමගි ජන බලවේගය ප්‍රමුඛ ප්‍රවණතාවය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගයයි.

පෙනෙන්ට තිබෙන කරුණ වන්නේ මේ අතුරින් ජාතික ජන බලවේගය වෙත සැලකිය යුතු මහජන අවධානයක් ලැබෙමින් තිබෙන බවයි. මෙලෙස ජනතා අවධානයක් දිනාගන්නා තරමට සාපේක්ෂව, ඊට විරුද්ධව සමගි ජන බලවේගයට හිතවත් පාර්ශව වෙතින් මතවාදීමය ප්‍රහාරයක් ද එල්ල වනු දක්නට පුලුවන. සමගි ජන බලවේගය සහ ඊට පක්ෂපාතී බුද්ධිමතුන් ජාතික ජන බලවේගයට එල්ල කරන ප්‍රමුඛතම විවේචනයක් වන්නේ, ස්වාධීනව කටයුතු කිරීම නිසා ආණ්ඩු විරෝධී ඡන්ද කැඩීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත් එය අනියම් ලෙස ආණ්ඩුවට වාසිදායක බවත්ය. එහෙම කරන්නේ නැතිව, ‘ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට’ අයත් සියලු පක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ අධිකාරිවාදී පාලනයට එරෙහිව එක්සත් විය යුතු බව කියැවේ.

2019 වර්ෂයේ ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය අබියස ජනතා විමුක්ති පෙරමුණ වෙන්ව තරග කරන්ට තීන්දු කල විට ද මේ හා සමාන තර්කයක් ඉදිරිපත් විය. ඒකාධිපතිවාදයට එරෙහිව ‘ප්‍රජාතන්ත්‍රවාදය’ සඳහා ජනතා විමුක්ති පෙරමුණ හා ඊට සහය දැක්වූ වාමගාමී හා ප්‍රගතිශීලී කොටස් සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්විය යුතු බවට ඒ අවස්ථාවේ ද අදහස් ඉදිරිපත් විය.

ජනතා විරෝධයේ පසුබිම

සමගි ජන බලවේගයට පක්ෂපාත හා නාගරිකව යම් කතිකාමය බලයක් තිබෙන සිවිල් සමාජ කණ්ඩායම් අතර තරමක් ජනප්‍රිය ඉහත කී අදහස ඉදිරිපත් වන්නේ ලංකාවේ පවතින ප්‍රධාන දේශපාලන බෙදීම  ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ කඳවුර හා අධිකාරිවාදී කඳවුර අතර ප්‍රතිවිරෝධයක් ලෙසට සිදු කොට තිබෙන සංකල්පගත කිරීම ආශ්‍රයෙනි. මෙම සංකල්පගත කිරීමේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි, දේශපාලනය හැඩගැස්වීම සම්බන්ධයෙන් දේශපාලන-ආර්ථික තලයේ තිබෙන බලපෑම හා එහි තිබෙන වැදගත්කම නොතකා හැරීම. මේ ‘නොතකා හැරීම’ නොදැනුවත්කම නිසා සිදුවන්නක් නොව, උපක්‍රමිකව සිදු කෙරෙන්නකි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහීමට මේ මොහොතේ බලපා තිබෙන ප්‍රධාන හේතුව ආර්ථික අර්බුදය බවට විවාදයක් තිබිය නොහේ. වත්මන් පාලක හවුල; විශේෂයෙන් එහි එක් පාර්ශවයක් වන ජනාධිපතිවරයා හා ඔහුට සමීප මිලිටරි-තාක්ෂණඥ පිරිස්වලින් සමන්විත ප්‍රවණතාවය අධිකාරිවාදී නැඹුරුවෙන් යුක්ත වූවක් වන බව, ඒ අනුව යම් යම් අධිකාරිවාදී ලක්ෂණ සහිත ක්‍රියාමාර්ග පසුගිය කාලය තුල ගැනුණු බව සැබෑවකි. එහෙත් ජනාධිපතිවරණයට ප්‍රථම ඇතැම් පිරිස් බිය වූ ලෙස ඒකාධිපති තන්ත්‍රයක බිහිවීමක් සිදුව නොමැති බව කරුණක් ලෙස පිලිගත යුත්තකි. පාලක හවුල තුලම තිබෙන ප්‍රතිවිරෝධතා ඇතුලු මෙම ලිපිය තුල සාකච්ඡා කිරීමට ඉඩ නැති හේතු ගණනාවක් නිසා මෙම අධිකාරිවාදී නැමියාව යම් පමණකට හීලෑ වී තිබේ.

ඒ වෙනුවට තීරණාත්මක සාධකය ලෙස මතුව තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයයි. මහජනයා මේ වනවිට ආණ්ඩුව සම්බන්ධව කලකිරීමට හා කෝපයට පත්ව සිටින්නේ ආණ්ඩුවේ මිලිටරිකරණ නැමියාව නිසා නොව, ආර්ථික අර්බුදය නිසාය. කෝවිඩ් වසංගතය නිසා ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදුව තිබුණත්, වත්මන් අර්බුදය යනු හුදෙක් වසංගතය නිසා ඇති වූවක් නොවේ. ලංකාවේ ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන් ස්වෛරීත්ව ණය අර්බුදය නිසා ජනිත වූවකි. 2007 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ස්වෛරීත්ව බැඳුම්කර මාර්ගයෙන් ණය ගැනීම පටන් ගත් අතර, ඉක්බිති යහපාලන ආණ්ඩුව එය දිගටම කරගෙන ගියේය. ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලින් ගනු ලබන මෙම ණය ද්විපාර්ශවීය ණය මෙන් ප්‍රතිව්‍යුහගත කිරීම අපහසුය. මෙලෙස අධික ලෙස ස්වෛරීත්ව බැඳුම්කර මත යැපීම විශාල අර්බුදයකට හේතු වනු ඇති බවට එකල ඇතැම් විකල්ප ආර්ථික විද්‍යාඥයන් අනතුරු හැඟවූවද ප්‍රධාන ධාරාවේ ප්‍රතිපත්ති සාකච්ඡා තුල ණය අර්බුදයක් ඇති විය හැකි බවට සංවාදයක් හෝ නොවීය.

මේ වන විට යට කී අනතුරු හැගවීම් සනාථ කරමින් මෑත ඉතිහාසයේ මුහුණ දී සිටින විශාලතම ආර්ථික අර්බුදය තුලට ලංකාව ඇතුලු වී සිටී. මහජන අසහනයට හේතු වී තිබෙන අධික ජීවන වියදම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, විදුලි කප්පාදුව ආදිය ආර්ථික අර්බුදයේ ආනුශංගයෝ වෙති. ගැමි ගොවි ජනතාව අතර විශාල කෝපයක් ජනිත කල පොහොර ප්‍රශ්නය වුව විදේශ විනිමය හිගකමට පිලියම් යෙදීම පිණිස අදූරදර්ශී ලෙස ගත් ප්‍රතිපත්ති තීරණයක් නිසා නිර්මාණය වූවකි.

විපක්ෂයේ ප්‍රතිචාර දෙකක්

මෙම අර්බුදය පියමං කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ඉදිරි දැක්ම වන්නේ ආර්ථිකය ලිබරල්කරණය තවදුරටත් ඉදිරියට ගෙන යාමයි. අර්බුදයට ක්ෂණික පිලිතුර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එලැඹ, එකී සංවිධානයේ නිර්දේශ අනුව ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කල යුතු බවට සමගි ජන බලවේගය සලකයි. එම පක්ෂයේ ආර්ථික කරුණු පිලිබඳ ප්‍රකාශකයන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න යන දෙදෙන මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම රට තුල ප්‍රවර්ධනය කරන උද්‍යෝගීමත්ම දේශපාලනඥයන් දෙපොල වෙති. කොලඹ ප්‍රතිපත්ති සංවාද තලය තුල මුල් බැස සිටින වෙරිටේ රිසර්ච්, ඇඩ්වොකාටා ආදී වූ දක්ෂිණාංශික බුද්ධිමය-පර්යේෂණ ආයතන ද මෙම අදහස මහත් උද්වේගයෙන් ප්‍රචලිත කරයි. දීර්ඝකාලීනව ගත්කල, ආර්ථික අර්බුදයට සමගි ජන බලවේගයේ විසඳුම වන්නේ 1977 සිට අනුගමනය කල නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් තවත් ගැඹුරු කොට ඉදිරියට ගෙන යාමය. ඔවුන්ට අනුව ප්‍රශ්නය නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයේ වූ අසමතුලිතතාවය නොව, ප්‍රමාණවත් තරම් නව ලිබරල් ප්‍රතිපත්ති ලංකාව විසින් ක්‍රියාත්මක නොකිරීමයි. ආණ්ඩුව සම්බන්ධව ඔවුන්ගේ විවේචනය වන්නේ ආණ්ඩුව යට කී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට නිසි කැපවීමක් නොදැක්විමයි.

අනෙක් අතට, ජාතික ජන බලවේගය මෙම ප්‍රශ්නය දෙස බලන ආකාරය එම ව්‍යාපාරය විසින් ‘අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ යන හිසින් මෑතක දී එලි දැක්වූ ප්‍රකාශනය හරහා ඉදිරිපත් කලේය. සමාජ යහපත නොව පෞද්ගලික ලාභය මත පදනම් වූ ‘විවෘත ආර්ථික ප්‍රතිපත්තිය’ ; එනම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වර්තමානයේ මහජනයා මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට පදනම දැමූ බව පවසන එම ලියැවිල්ල, සැබෑ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරනු වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය හරහා ‘ආර්ථික බුබුලු’ නිර්මාණය කිරීම එම ආර්ථිකයේ ලක්ෂණයක් ලෙස දකී. මේ අනුව දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට ප්‍රමුඛතාවය දෙනු වෙනුවට සිදුව ඇත්තේ මූල්‍ය වෙලඳපොල ප්‍රසාරණය කිරීමකි. මෙම අර්බුදය පියමං කිරීම සඳහා තෝරාගත් ක්ෂේත්‍රවල ආනයන-ආදේශන පිලිවෙත් ක්‍රියාවට නැංවීම ද ඇතුලත් වූ වැඩසටහනක් ඔවුන් ඉදිරිපත් කරයි. අත්‍යාසන්න ණය වාරික සම්බන්ධ කරුණේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම වෙනුවට, විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ යම් උත්සාහයක් ගෙන තිබේ.

මෙලෙස ඉදිරිපත් කොට තිබෙන යෝජනාවල ප්‍රමාණවත්භාවය හා තම දැක්ම යථාවත් කරගැන්ම සඳහා නිර්දේශ කොට තිබෙන ක්‍රියාමාර්ගවල සීමාවන් පිලිබඳ අපට යම් යම් ප්‍රශ්න මතු කල හැකි වුවද පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රවේශය සමගි ජන බලවේගයේ ප්‍රවේශයට වඩා තීරණාත්මක ලෙස වෙනස් මුහුණුවරක් ගන්නා බවයි. අර්බුදයට විසඳුම නව ලිබරල් ප්‍රතිපත්ති තවත් තීව්‍ර කිරීම යැයි සමගි ජන බලවේගය කල්පනා කරන විට, ජාතික ජන බලවේගයට අනුව අර්බුදය යනු නව ලිබරල් ප්‍රතිපත්තිවල වූ අසමතුලිතතාවයේ ප්‍රකාශනයකි. ජාතික ජන බලවේගයේ වැඩපිලිවෙල තුල වන අධ්‍යාපනය, පොදු සෞඛ්‍ය සේවාව හා පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති ද සමග එක්ව බලන විට එම වැඩසටහන තුල වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් දක්නට ලැබේ. ඊට වෙනස්ව, සමගි ජන බලවේගයේ එලැඹුම තුල පවතින්නේ දක්ෂිණාංශික-නව ලිබරල් හැඩයකි.

මේ අනුව ගත්කල වත්මන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය වෙමින් තිබෙන විරෝධය ‘ආණ්ඩු විරෝධය’ ලෙස තනි පදයකින් හැඳින්විය නොහැකි එකකි. විරෝධය ගොනු වෙමින් තිබෙන්නේ වාමාංශයෙන් හා දක්ෂිණාංශයෙන් ලෙස අක්ෂ දෙකකිනි. උක්ත වාමාංශික අක්ෂයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ඊට අනුබද්ධ විවිධ බහුජන ව්‍යාපාර විසින් සංවිධානය කෙරෙන කලාපයද අයත් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු?

මේ මොහොතේ රට තුල තිබෙන ප්‍රබලතම ප්‍රශ්නය සම්බන්ධව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන වෙනස්කම එබඳු නම්, එම වෙනස්කම නොතකා ‘ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර’ ලෙස එකතු නොවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට අයත් බුද්ධිමතුන් ජාතික ජන බලවේගයට ආඩපාලි කීම සම්බන්ධව කිව හැක්කේ කුමක්ද? මෙහිලා කරුණු දෙකක් සටහන් කරනු වටී.

පලමුවැන්න, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නම් පදයට ඔවුන් දීමට උත්සාහ කරන පටු අර්ථයයි. ආර්ථික සම්බන්ධකම් පෞද්ගලික ක්ෂේත්‍රයට අයත් වූවක් ලෙස දැකීමත්, රාජ්‍ය පරිපාලන කටයුතු පමණක් දේශපාලනයට විෂය වන්නා වූ පොදු ක්ෂේත්‍රයට අයත් වූවක් ලෙස සැලකීම ගතානුගතික ලිබරල්වාදයේ වූ සීමාවකි. සමාජවාදය පහල වූයේ මෙම සීමාවට අභියෝගයක් ලෙසය. අපගේ ජීවිතවල හැඩගැස්ම සම්බන්ධව ආර්ථික සම්බන්ධකම් බෙහෙවින් තීරණාත්මක බව පෙන්වා දුන් සමාජවාදීන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පාලනය නම්, අර්ථාන්විත ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ආර්ථික සම්බන්ධතා ක්ෂේත්‍රයද ප්‍රජාතාන්ත්‍රීකරණය විය යුතු බවට තර්ක කලහ.

ආර්ථික තීරණ පොදු ජනයාගේ යහපත පිණිස නොව දේශීය හා විදේශීය සමාගම් ස්වල්පයක, රට තුල සිටින ධනවත් හා බලවත් ස්ථරවල යහපත සඳහා ගැනේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය. සමාජයේ ධනය හා බලය ධනවත් හා බලවත් සුලුතරයක් අත වඩ වඩා සංකේන්ද්‍රණය කරන්ට කටයුතු කරන නව ලිබරල් ප්‍රතිපත්තීන් හරයෙන් ගත්කල ප්‍රජාතන්ත්‍ර විරෝධීය. මෙරට පරණ වාමාංශික පක්ෂ එකල එක්සත් ජාතික පක්ෂයේ වූ දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති නිසා එම පක්ෂය  හැඳින්වූයේ ‘ප්‍රතිගාමී’ බලවේගයක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හැඳීන්වීමට ඔවුහු සිහිනෙනුදු නොසිතූහ.

ප්‍රතිගාමී ආදී යෙදුම් වර්තමානය වනවිට තරමක් යල් පැන ගොස් තිබිය හැකි නමුදු එම අර්ථය වෙනස් වන්ට හේතුවක් නැත ; ආර්ථික කරුණුවල දී ජනතා සුබසාදනවාදයට විරුද්ධ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින බලවේගයක් සහ ජනතා සුබසාධනවාදය ශක්තිමත් කිරීම සඳහා පෙනී ඉන්නා බලවේගයක් අතර පොදු වූ ‘ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර’ යනුවෙන් යමක් පවතින්ට පුලුවන්කමක් නැත. එක්සත් ජාතික පක්ෂයේ අනුප්‍රාප්තිකයා වන සමගි ජන බලවේගය ‘ප්‍රජාතන්ත්‍රවාදී’ බලවේගයක් ලෙස ඇතැම් පශ්චාත්-වාමාංශික කොටස් වර්තමානයේ දකින්නේ නම්, ඊට හේතුව දේශපාලන-ආර්ථිකය නම් වූ වැදගත් සාධකය අත්හැර දේශපාලනය දෙස බැලීමට ඔවුන් පුරුදු වී සිටීමයි.

දෙවනුව, බලය සඳහා ජාතික ජන බලවේගය පසුපස බඩ ගාන්ට වී තිබීමෙන් පෙන්නුම් කරන්නේ දක්ෂිණාංශික ආණ්ඩු විරෝධී ප්‍රවණතාවය තුල තිබෙන දුබලතාවයයි. රට තුල බලවත් අර්බුදයක් ජනිතව තිබෙන තත්වයක් තුල පවා ස්වාධීනව බලය ගැනීම සම්බන්ධ ආත්ම විශ්වාසයක් ඔවුන්ට නැත. වත්මන් අර්බුදයට හේතු වූ නාස්තිකවාදී ආර්ථික ප්‍රතිපත්තියේ ගැටලුව විදාරණය කොට, ලංකාව ඌන සංවර්ධිත තත්වයෙන් මුදා ගත හැකි ඵලදායී ආර්ථික ප්‍රවේශය කුමක්ද යන්න ගැන මහජන සංවාදයක් ඇති කිරීම සඳහා වත්මන් අර්බුදය යොදාගත යුතු වේ. මේ සඳහා නව ලිබරල් කතිකාමය රාමුව තුල සිරව සිටින ජාතිකවාදීන් හා ලිබරල්වාදීන්ට පිටතින්, ස්වාධීන බලවේගයක් වර්ධනය විය යුතුය. ජාතික ජන බලවේගය ද අයත් වාම-ප්‍රගතිශීලි දේශපාලන ධාරාව අබියස ඇති කටයුත්ත එම බලවේගය නිර්මාණය කිරීම මිස බංකොලොත්භාවයට පත්ව සිටින දක්ෂිණාංශික ආණ්ඩු විරෝධීන්ට බලයට ඒම පිණිස සිය ශක්තිය ‘කුලියට’ දීම නොවේ.


 

 

Comments

Popular posts from this blog

කොවිඩ් -19 මදිවට IMF! : කොවිඩ්වලින් වැටෙන ආර්ථිකයට IMF ඇනීම

 ශිරන් ඉලන්පෙරුම  කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ එහි ආර්ථික ඉතිහාසයේ ඉතා අසීරු කාල පරිච්ඡේදයකය. 2012 වසරේ සිටම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින්  නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇති අතර, 1990 දශකයේ මැද භාගයේ නොදුටු, දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇති බාහිර ණය තොග ඉතා ඉහළ  මට්ටමකට ළඟා වී ඇත. 2016 දී දීර්ඝ කාලීන පියවීමේ / ගෙවීමේ ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1 ක මුදලක් ණයට ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇති කර ගත්තේය.  රටේ දිනෙන් දින වැඩිවන ණය නිසා හීන වී යන ආර්ථික වර්ධනය නවත්වා ගැනීමට ඉහත සඳහන් ණය මුදල උදව් වෙන බවට  පවසමින්  ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ණය ගිවිසුම සාධාරණීකරණය කළහ. පුරෝකථනය කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි මාලාවක් මේ හා සමග නිකුත් කලේය. එනම්, රජයේ වියදම් අඩු කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් මූල්‍ය හිඟය අඩු කිරීමයි. මුදල් අවප්‍රමාණය කෙරුණි. ආනයන නිදහස් කෙරුණි. ඉන්ධන සහ පොහොර සහනාධාර ඉවත් කෙරුණි. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවන ලදී.  නමුත් මේවා සැබවින්ම වැඩ කළා ද? 2016 සහ 2019 අතර වර්ධන වේගය ( ජාත්‍යන්

ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන්

  සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල   සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ ' තුන්වන ලෝකය ' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්‍රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට ' සංවර්ධනය වෙන්න බැරි ඇයි ?' කියන ප්‍රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත , අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල අමීන් මේ පද්ධතිය තුල ගෝලීය උතුරේ රටවල් ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්කිරීම තුලින් සංවර්ධනය වන බව පැවසීය. ' පරායක්තතා න්‍යාය ' (dependency theory) නමින් ප්‍රකට වූ ගුරුකුලයේ පුරෝගාමියෙක් ලෙස ‍ හෙතෙම පරිධියේ රටවල සිට ගෝලීය උතුරේ රටවල් වෙත සම්පත් ගලනය සිදුවන හැටි ; ඒ තුල පරිධියේ රටවල ඌන සංවර්ධනය දිගටම පවතින හැටි පෙන්වා දී තිබේ. පරිධියෙන් උද්ධරණය කෙරෙන අතිරික්තය ඔහු හඳුන්වන්නේ ' අධිරාජ්‍යවාදී කුලිය ' යන නමින්ය. පහත සම්මුඛ සාකච්ඡාව 2018 වර්ෂයේ, එනම් මිය යාමට ටික කලෙකට පෙර ඔහු ඉන්දියාවේ Frontline සගරාව සමග කල සංවාදයක සිංහල පරිවර්තනයයි. ගෝලීයකරණය , අසමානතා වර්ධනය

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය

රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ජය නොගත් විකල්ප යථාර්තයක ඇතැම්විට රුසියාවේ පාලක පක්ෂය වන්නට ඉඩ තිබූ මෙන්ෂෙවික් පක්ෂයට පසුව අත් වූ ඉරණම කුමක්ද? මෙම කෙටි ලිපි පෙල ඒ පිලිබඳවය. ***  මෙන්ෂෙවික්වරුන්ට වූ දේ ගැන කථා කිරීමට පෙර මෙන්ෂෙවික්වරුන් යනු කවුදැයි හදුනාගත යුතුය. මෙන්ෂෙවික්වරුන්ට සිදුවූ දේ ඔවුන් 'කවුද?', ඔවුන් 'කලේ කුමක්ද?' යන්න සමග තදබල ලෙස බැඳී පවතී.   බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් යනු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රවණතා දෙකකි. මෙම භේදය ඇති වූයේ 1903දීය. මෙකල යුරෝපයේ කම්කරු පාන්තික සමාජවාදී ව්‍යාපාරය හැඳින්වූ‍යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමිනි