Skip to main content

දහයට 'නොනිදන' ඩඩ්ලි

හල් යුද්ධය සහල් මෝල් කතිපයාධිකාරයට ජය ගෙන දෙමින් අවසන් වී තිබේ. බලයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රචාරය කෙරුණු ප්‍රතිරූපය වූයේ ඔහු ශක්තිමත් පාලකයෙක් බවය; රට 'විනයගත' කිරීම සඳහා එබඳු තද පාලකයෙක් අවශ්‍ය බවය. මෙම තර්කය අනුව යමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුණි. අතිමහත් බලතල ජනාධිපතිවරයා වෙත පැවරුණි. තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුව වැඩ ඇල්ලුවේ 'නොහැක්කක් නොමැත' ස්වරයෙනි. පසුගිය සැප්තැම්බර් 2 වන දා සහල් සඳහා උපරිම තොග මිලක් නියම කරමින්, ආණ්ඩුව සහල් මෙහෙයුම දියත් කලේ හදිසි නීති බලතල පවා සහිතවය.

කෙසේ වුවද, 'කවුද රජා' යැයි පැහැදිලි වීමට ගත වූයේ සති දෙක තුනකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම නිසා පීඩාවට පත් පාරිභෝගික ජනයා සඳහා වූ සහනයක් ලෙස සහල් සඳහා උපරිම තොග මිලක් නීතියෙන් නියම කල ආණ්ඩුව - එම මිලට සහල් සැපයුම ප්‍රතික්ෂේප‍ෙ කොට ඒවා ගබඩාවල රඳවා ගෙන සිටින විශාල ව්‍යාපාරිකයන්ට එරෙහිව - හමුදා සේනාංක ද යොදාගෙන කල මෙහෙයුම මේ වනවිට අත්හැර දමා ඇත. මිල කවරක්දැ'යි සහල් මෝල් හිමියන් විසින්ම නිවේදනය කොට තිබේ.

මෙය සිදුවූ පලමු වතාව මෙය නොවේ. මීට අවුරුද්දකට ප්‍රථම මෙලෙසම සහල් ප්‍රශ්නයක් පැන නැංග අවස්ථාව යලි සිහිපත් කරගනිමු. ඒ පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස හිටපු හමුදා නිලධරයෙක් පත්කල අවස්ථාවය. එවරද කතිපයාධිකාරය ජය ලැබුවේය. ආණ්ඩුව පසු බැස්සේය. 'නිදහස් වෙලඳපොල' ඉදිරියේ රජය අසාර්ථක වීම පිලිබඳ සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රීති වෙමින් සිටිති. හමුදා සේනාංක යොදාගෙන සහල් මෝල් ව්‍යාපාරිකයන්ගේ ගබඩාවලට ගඩා වැදීම 'මානව හිමිකම් කඩකිරීමක්' ලෙස දුටු ඇතැම් මානව හිමිකම් ක්‍රියාකාරීන්ටද ඒ සංතෝෂයට එකතු විය හැක. නිදහස් වෙලඳපොල යනු බලවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ගේ ආධිපත්‍යය බව සමගි ජන බලවේගයේ නායක කාරකාදීන් නොදන්නවා නොවේ ; එහෙත් නොදන්නවා සේ සිටී. ජනතාවගේ ආහාර සඳහා වූ අයිතිය මෝල් හිමියන්ගේ 'පෞද්ගලික දේපල අයිතිය' වගේම මනුශ්‍ය අයිතිවාසිකමක් බව ; ඊට වඩා අති මූලික අයිතිවාසිකමක් බව මානව හිමිකම් ව්‍යවසායකයන් නොදන්නවා නොවේ, එහෙත් නොදන්නවා සේ සිටී.

සහල් යුද්ධයේ අවසාන ශේෂ පත්‍රය ‍කුමක්ද? පසුගිය දවස්වල මහත් කලබැගෑනියක් ඇති කල කිරි පිටි ප්‍රශ්නය වගේම සහල් ප්‍රශ්නයද අති මූලික ප්‍රශ්නයක ප්‍රකාශනයන්ය. ප්‍රශ්නය නම් ව්‍යාපාරික පන්තියක අවශ්‍යතාවය වෙනුවෙන් රාජ්‍යය ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වූ තම වගකීම් අත්හැරීමය. ‘නිදහස්’ වෙලඳ ප්‍රතිපත්තිය යන්නේ සැබෑ අදහස මෙයය.

කිරි පිටි ප්‍රශ්නය මුලින් ගනිමු. මේ වනවිට ලංකාවේ නිෂ්පාදනය කෙරෙන්නේ රටට අවශ්‍ය කිරි ඉල්ලුමෙන් සියයට 35 ක ප්‍රමාණයකි. ඉතිරි ප්‍රමාණය ආනයනය කෙරෙයි. මෙම ආනයනික කිරිපිටි සඳහා අපි වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වැය කරමු. රජයේ අයවැයෙන් රාජ්‍ය සේවක පඩි සඳහා මුදල් වෙන් කිරීම ගැන හත්පොලේ හැපෙන උදවියට අධික ආනයන වියදම් නිසා රටට ණය වෙන්ට සිදුව තිබෙන විධිහ ; එම ණය රාජ්‍ය මූල්‍ය මත කරන බලපෑම ගැන වගේ වගක් නැත. මෙම විකෘති තත්වය වසර ගණනාවක ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. නිදසුන් ලෙස 1957 දී පිහිටුවන ලද ජාතික කිරි මණ්ඩලය 1981 දී පෞද්ගලිකකරණය කෙරුණි. 

ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර් පෙන්වා දෙන ලෙස, මීට සමගාමීව කිරිපිටි සමාගම්වල ආක්‍රමණශීලී ප්‍රචාරක වැඩවල ප්‍රතිඵල ලෙස ආනයනික කිරිපිටි සම්බන්ධ පාරිභෝගික අර්චනයක් නිර්මාණය කෙරුණි. ඒ දියර කිරි ගුණාත්මක වශයෙන් කිරිපිටිවලට වඩා සෞඛ්‍ය සම්පන්න වන විටදීය. දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා සප්‍රාණික මැදිහත්වීමක් රජය පාර්ශවයෙන් නොමැති, ඒ සඳහා වූ ව්‍යුහයන් දුර්වල කෙරුණු පසුබිමක් තුල විශාල සමාගම් කිහිපයක් වෙලඳපොල අල්ලා ගෙන තිබේ. ආණ්ඩුවට කල හැකි එකම දෙය; මෙම සමාගම්වල ඉල්ලීම් අනුව කටයුතු කිරීමය.

සහල් සැපයුම සම්බන්ධ ප්‍රශ්නයත් මිට සමාන්තරය. වී ගොවිතැනෙහි නියුක්ත ලංකාවේ ගොවි ජනයාගෙන් අති බහුතරය කුඩා ඉඩම් හිමි ගොවීන්ය. තම නිෂ්පාදිත සඳහා ඔවුන් සතු කේවල් කිරීමේ හැකියාව දුර්වලය. මෙම වී සහල් කොට වෙලඳපොලට මුදා හැරීම කතිපයාධිකාරයක් විසින් පාලනය කරයි. මෙම කතිපයාධිකාරය දේශපාලන සම්බන්ධකම් තිබෙන; එම දේශපාලන අනුග්‍රාහකත්වයද සහිතව පසුගිය දශක කිහිපය තුල වර්ධනය වූ එකකි. මෙම කතිපයාධිකාරිය පැන නැගීමට පෙර, වී මිල දී ගැනීම හා සහල් බෙදා හැරීම සම්බන්ධව රජයේ ශක්තිමත් මැදිහත්වීමක් පැවැතිණ. වී අලෙවි මණ්ඩලය හා විශේෂ සේවා සමූපකාර සමිති ජාලය හරහා රජය මෙම මැදිහත්වීම අභ්‍යාස කලේය. 

නමුත් ආර්ථික ලිහිල්කරණයෙන් ඉක්බිති මෙම ව්‍යුහයන් බරපතල ලෙස දුර්වල කෙරුණු අතර වෙලඳපොල සම්බන්ධයෙන් වූ 'බලය' පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අතට මාරු විය. මේ වනවිට ක්‍රියාවලිය පාලනය කිරීමේ යතුර තිබෙන්නේ ඔවුන් අතය.

ඉහත කී පසුබිම තුල ̶ එනම් ආර්ථික බලය වෙලද කුලයක් අත පවතින පසුබිම තුල ̶ මිල පාලන සීමා පැනැවූ පමණින් කිසිවක් සිදු නොවේ. හරයාත්මක ආර්ථික සම්බන්ධතා අබියස විධිමාත්‍රික නීති බල රහිතය. ආර්ථික සම්බන්ධකම්වල ; එනම් ගොවීන් සහ අතරමැදියන් අතර, අතරමැදිහන් හා පාරිභෝගිකයන් අතර ලෙස වන සම්බන්ධකම්වල මූලික පරිවර්තනයක් කරන්නේ නැතිව ගැසට් ගැහුවාට කිසිවක් සිදු නොවේ.

පවතින ආර්ථික සම්බන්ධකම් පරිවර්තනය කිරීම යනු පවතින පසුබිම තුල 'විප්ලවකාරී' වැඩකි. ප්‍රශ්නය නම්, ව්‍යාපාරික කතිපයාධිපත්‍යයට අත තබන්ට තරම් වූ දුරක් ගමන් කිරීමට ආණ්ඩුවට හයියක් නොමැති වීමය. ආණ්ඩුවට විශාල ව්‍යාපාරික පන්තිය සම්බන්ධව තිබෙන පන්ති පක්ෂපාතීත්වය නිසා එවැන්නක් කිරීමේ හැකියාවක් නොමැත. ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ද ප්‍රශ්නය මෙයාකාරය. ආනයනික මාෆියාවේ බල බිඳීමකින් තොරව කිරි වෙලඳපොල සම්බන්ධයෙන් හරයාත්මක පරිවර්තනයක් වෙත ගමන් කල නොහැක. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම සම්බන්ධව 'නියාමනයෙන්' ඔබ්බට ගිය වගකීමක් රාජ්‍යය සතුව ඇත. මෙය අත්හල තැන, පොදු යහපත පිලිබඳ පරමාර්ථය බිඳ වැටෙයි. පොදු යහපත සහ ව්‍යාපාරික තන්ත්‍රයේ ස්වාර්ථය යන ගැටුම තීරණාත්මක ලෙස මතු වූ කල්හි, රජයේ පක්ෂපාතීත්වය අවසාන විග්‍රහයේ දී තිබෙන්නේ ව්‍යාපාරික තන්ත්‍රය වෙතය.

ආණ්ඩුවට සහයෝගය දුන් හැට නම ලක්ෂය මෙන්ම; බිස්නස්කාරයන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගයට ඡන්දය දුන් ලක්ෂ ගණනාවද සහල් යුද්ධයෙන් උගත යුතු පාඩම මෙයයි ; මේ රටේ සැබෑ බලය තිබෙන්නේ ඩඩ්ලි සිරිසේන, කිරි පිටි සමාගම් ව්‍යාපාරිකයන් බඳු අයගෙන් සමන්විත කතිපයාධිපත්‍යයක් අතය. තුනෙන් දෙකක බලය සහිත විධායක ජනාධිපති පවා මෙම බලය ඉදිරියේ පදිරිය. රජය ලොකු පාට් දමන්නේ සුලු ජාතිකයන්ටය ; කෝවිඩ් නිසා මියයන මුස්ලිමුන්ටය, යුද්ධය නිසා මලගිය තම ඥාතීන් සමරන්ට උත්සාහ කරන දෙමල ජනයාටය. ඩඩ්ලි සිරිසේන අබියස පදිරි වූ තම ස්වාධිපති බලය ජනතාවට 'ඒත්තු ගැන්වීම' සඳහා අනාගතයේ දී සුලු ජාතීන්ට එරෙහිව තව තවත් චණ්ඩි පාට්වලට ආණ්ඩුව යොමු වනු ඇතැ'යි අපේක්ෂා කල හැක.

මෛත්‍රීපාල සිරිසේන මහතා රෑ දහයට නිදාගත්තත් ; ඩඩ්ලි සිරිසේන මහතා (සහ තවත් අය) දහයට නිදන්නේ නැත. ‍මේ බව තේරුම් නොගන්නා තක්, මේ රටේ පොදු ජනයාට ගොඩ ඒමක් ද නැත.

 

Comments

  1. I think this is a very timely analysis of the reality of the prevailing rice crisis.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

ආණ්ඩු විරෝධයේ ප්‍රතිවිරෝධය

  ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව වසර දෙකක් ගත වී තිබෙන තැන, ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු මහජන විරෝධයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. මෙලෙස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අභියෝගයට ලක්වීමට සමගාමීව ආණ්ඩු විරෝධී කතිකාව ප්‍රබල වෙමින් පවතී. ආණ්ඩු විරෝධී කතිකාව තුල ආධිපත්‍යය සඳහා පොර බඳින විකල්ප ව්‍යාපෘතීන් දෙකක් මූලික වශයෙන් දැකගත හැක ; ඒ සමගි ජන බලවේගය ප්‍රමුඛ ප්‍රවණතාවය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගයයි. පෙනෙන්ට තිබෙන කරුණ වන්නේ මේ අතුරින් ජාතික ජන බලවේගය වෙත සැලකිය යුතු මහජන අවධානයක් ලැබෙමින් තිබෙන බවයි. මෙලෙස ජනතා අවධානයක් දිනාගන්නා තරමට සාපේක්ෂව, ඊට විරුද්ධව සමගි ජන බලවේගයට හිතවත් පාර්ශව වෙතින් මතවාදීමය ප්‍රහාරයක් ද එල්ල වනු දක්නට පුලුවන. සමගි ජන බලවේගය සහ ඊට පක්ෂපාතී බුද්ධිමතුන් ජාතික ජන බලවේගයට එල්ල කරන ප්‍රමුඛතම විවේචනයක් වන්නේ, ස්වාධීනව කටයුතු කිරීම නිසා ආණ්ඩු විරෝධී ඡන්ද කැඩීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවත් එය අනියම් ලෙස ආණ්ඩුවට වාසිදායක බවත්ය. එහෙම කරන්නේ නැතිව, ‘ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට’ අයත් සියලු පක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ අධිකාරිවාදී පාලනය