Skip to main content

මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ


 1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ඒකාධිපතියෙක් වන ඔගස්ටෝ පිනොශේව බලයේ පිහිටවූයේය. තමා මරා දැමීමට මොහොතකට පෙර, සැල්වදෝර් අයියන්දේ ජාතිය අමතා කල කථාවේ සිංහල අනුවාදය පහත පල වේ. 

                                                                   ***

මිත්‍රවරුනි,

මේ මා ඔබ අමතන අවසාන අවස්ථාවය. ආරංචි වන අන්දමට මේ වනවිට ගුවන් හමුදාව රේඩියෝ පොර්ටාලේස් හා රේඩියෝ කොර්පොරාසියොන් යන ගුවන් විදුලි මධ්‍යස්ථාන කුලුනුවලට බෝම්බ හෙලා තිබේ. 

මගේ වචනවල ගැබ් වී තිබෙන්නේ අමිහිරිබවක් නොව අතිමහත් කනගාටුවකි. ස්වකීය ප්‍රතිඥාව පාවා දුන් සියලු දෙනාට, චිලී දේශයේ සොල්දාදුවන්, හමුදාවල ප්‍රධානීන් ලෙස කටයුතු කල යුතුව තිබූ අය - නාවික හමුදාවේ ප්‍රධානී ලෙස තමුන් නම් කරගෙන සිටින අද්මිරාල් මෙරීනෝ, ඊයේ දින පවා ආන්ඩුවට සිය පක්ෂපාතීත්වය සහ භක්තිය ප්‍රකාශ කල මේ වනවිට ජාතික පොලිසියේ ප්‍රධානී බවට තෙමේම පත්වී සිටින ලැජ්ජාසහගත ජෙනරාල් මෙන්ඩෝසා ආදී සියලු දෙනා යම් දිනෙක සදාචාරමය ලෙස විනිශ්චයට සහ දණ්ඩනයට ලක්විය යුතුය. 

මේ සියලු තතු තුල, මා හට අපගේ කම්කරු ජනතාවට කීමට ඇත්තේ එක දෙයකි : මම ඉල්ලා අස් නොවෙමි!

ඓතිහාසික සංක්‍රාන්තික මොහොතක ජනතාව කෙරෙහි වන මාගේ පක්ෂපාතීත්වය පල කරනු වස් මම දිවි පුදමි. අප විසින් දස දහස් සංඛ්‍යාත චිලී වැසියන්ගේ යහපත් හෘද සාක්ෂිය තුල පැල කරනු ලැබූ බීජයන් සදහටම විනාශ වී නොයනු ඇති බවට මට විශ්වාස බව මා කිව යුතුය. සතුරාට ශක්තිය ඇත. ඔවුන්ට අපව යටත් කරගත හැකි වනු ඇත. එහෙත් සමාජ ක්‍රියාවලීන් අපරාධවලින් හෝ බලහත්කාරය මගින් අත්හිටුවිය නොහැක. ඉතිහාසය අපගේය. ඉතිහාසය නිර්මාණය කරන්නේ ජනතාව විසිනි. 

මාගේ දේශයේ කම්කරුවනි, යුක්තිය සදහා වූ ශ්‍රේෂ්ඨ අරගලයේ හුදු සම්ප්‍රේෂකයෙක් පමණක් වූ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට ගරු කරන බවට තමන් දුන් වචනයට සෑම විටම සත්‍යගරුක වූ, එය එසේම ක්‍රියාවෙන් සනාථ කල මිනිසෙක් වෙත ඔබ සෑමකල්හිම දැක්වූ පක්ෂපාතීත්වය සහ විශ්වාසය කෙරෙහි මම කෘතඥ වෙමි. මේ තීරණාත්මක මොහොතේ, මා හට ඔබට ආමන්ත්‍රණය කිරීමට ඉඩ ලැබෙන අවසාන මොහොතේ, අපට ඉගෙන ගැනීමට සිදුවී තිබෙන පාඩමින් නිසි ප්‍රයෝජන ඔබ ගනු ඇතැයි මම සිතමි. දේශීය ප්‍රතිගාමීත්වය සමග එකතු වූ විදේශ ප්‍රාග්ධනය සහ අධිරාජ්‍යවාදය විසින් සන්නද්ධ හමුදාවලට ඔවුන්ගේ සම්ප්‍රදාය - ජෙනරාල් ෂ්නයිදර් විසින් ඉගැන්වූ, කොමාන්ඩර් අරායා විසින් සහතික කල ව්‍යවස්ථානුකූල ආණ්ඩුවට පක්ෂපාතී වීම පිලිබද සම්ප්‍රදාය - කඩකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට ඇත. ඉහත කී බලවේගවලට අයත් උදවිය මේ වනවිට සිය නිවෙස්වලට වී විදේශ ආධාර සහිතව බලය යලි සියතට ගැනීමට සහ තමන්ගේ ලාභ හා වරප්‍රසාද ආරක්ෂා කරගැනීම දිගටම පවත්වාගෙන යාමට සිහින දකිමින් සිටිති. 

මාගේ මේ ආමන්ත්‍රණය අපගේ රටේ චාම් හා සරල ස්ත්‍රීන්ටය, අපගේ සියලු අවධානය සිය දරුවන් කෙරෙහි බව තේරුම්ගෙන සිටි මවුවරුන්ටය, අප ගැන විශ්වාසය තැබූ ගොවියාටය, වඩාත් වැඩියෙන් මහන්සි වී වැඩ කල කම්කරුවාටය. මා අමතන්නේ චිලී දේශයේ වෘත්තීකයින්ටය. ධනවාදය විසින් සුලුතරයකට ලබාදෙන ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සදහා කැපවී ගත්, පංති පක්ෂපාතීත්වය සහිත සිය වෘත්තිකයන්ගේ සංවිධාන විසින් අනුබල දෙනු ලැබූ රාජ්‍ය විරෝධයට එරෙහිව පසුගිය කාලය පුරාවට වැඩ කල  දේශප්‍රේමී වෘත්තිකයින්ටය.  

මේ ආමන්ත්‍රණය ස්වකීය ප්‍රමෝදය සහ අරගලයේ ජීවය අප වෙත පිරිනැමූ තරුණ පරම්පරාවටය. නුදුරේ දී දඩයමට ලක්වීමට නියමිත සියලු දෙනා - චිලී දේශයේ  කම්කරුවන්, ගොවීන් හා බුද්ධිමතුන් මම අමතමි. පසුගිය පැය කිහිපය තුල ෆැසිස්ට්වාදය අප රට තුල හිස ඔසවා ඇත. ත්‍රස්තවාදී ප්‍රහාර, පාලම් පුපුරවා හැරීම, රේල් පාරවල් අවහිර කිරීම, තෙල් හා ගෑස්නල විනාශ කිරීම ආදී කඩාකප්පල් ක්‍රියා ඔවුන් සිදුකලේ ඒවා ආරක්ෂා කිරීමේ වගකීම සහිත පිරිස් නිහඩව සිටියදීය. ඔවුහු සිය කඩාකප්පල්කාරී ක්‍රියාවලට කැපවී ගත් අය වූහ. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කරනු ඇත.

නිසැකවම මා ඔබව අමතන මෙම ගුවන් විදුලි මාර්ගය ද නිහඩ කරනු ලැබෙනු ඇත. මගේ හඩ ඔබ වෙත ඉක්බිති තවදුරටත් නොඇසෙනු ඇත. ඉන් කමක් නැත. මගේ හඩ එසේ වූවද ඔබ සමග වනු ඇත. මම සෑමවිටම ඔබ පසෙකින් සිටිමි. අඩු වසයෙන් ආත්ම ගරුත්වය පාවා නොදුන් සහ කම්කරුවන් වෙත පක්ෂපාතී වී සිටි මිනිසෙක් ලෙස මා ගැන මතකය ඔබ අතර පවතිනු ඇත. 

ජනතාව තමන්ව ආරක්ෂා කරගත යුතුය. එහෙත් ඔවුන් බිලි විය යුතු නැත. වෙඩි උන්ඩ මගින් තමුන්ව විනාශ කිරීමට ඔවුන් ඉඩ නොදිය යුතු සේම තමුන්ව අවමානයට පාත්‍ර කිරීමට ද ජනතාව ඉඩ නොතැබිය යුතුය. 

මගේ රටේ කම්කරුවනි, චිලී දේශය ගැන හා එහි ඉරණම ගැන මම විශ්වාස කරමි. ද්‍රෝහීත්වය රජයන මෙම අන්ධකාර සහ අප්‍රසන්න මොහොත වෙනත් මිනිසුන් විසින් ජයගනු ඇත. ඒ විශ්වාසය සහිතව පෙරමුණට යන්න. එකල්හි වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සදහා නිදහස් මිනිසුන්ට නිදහසේ පිය නැගිය හැකි ශ්‍රේෂ්ඨ මාවත් වැඩි කල් නොගොස් යලිත් වරක් විවර වෙනු නොඅනුමානයි. 

චිලී දේශය දිනේවා! ජනතාව දිනේවා! කම්කරුවන් දිනේවා!

මේ මාගේ අවසාන වචනය. මාගේ පරිත්‍යාගය අපතේ නොයනු ඇතැයි මට විශ්වාසය. අඩුම තරමින් සාපරාධීත්වය, බියගුලුකම සහ ද්‍රෝහීත්වය දඩුවමට ලක්කරන සදාචාරමය පාඩමක් බවට එම පරිත්‍යාගය පත්වනු ඇතැයි මට විශ්වාසය.


Comments

Popular posts from this blog

දහයට 'නොනිදන' ඩඩ්ලි

ස හල් යුද්ධය සහල් මෝල් කතිපයාධිකාරයට ජය ගෙන දෙමින් අවසන් වී තිබේ. බලයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රචාරය කෙරුණු ප්‍රතිරූපය වූයේ ඔහු ශක්තිමත් පාලකයෙක් බවය ; රට ' විනයගත ' කිරීම සඳහා එබඳු තද පාලකයෙක් අවශ්‍ය බවය. මෙම තර්කය අනුව යමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුණි. අතිමහත් බලතල ජනාධිපතිවරයා වෙත පැවරුණි. තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුව වැඩ ඇල්ලුවේ ' නොහැක්කක් නොමැත ' ස්වරයෙනි. පසුගිය සැප්තැම්බර් 2 වන දා සහල් සඳහා උපරිම තොග මිලක් නියම කරමින් , ආණ්ඩුව සහල් මෙහෙයුම දියත් කලේ හදිසි නීති බලතල පවා සහිතවය. කෙසේ වුවද , ' කවුද රජා ' යැයි පැහැදිලි වීමට ගත වූයේ සති දෙක තුනකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම නිසා පීඩාවට පත් පාරිභෝගික ජනයා සඳහා වූ සහනයක් ලෙස සහල් සඳහා උපරිම තොග මිලක් නීතියෙන් නියම කල ආණ්ඩුව - එම මිලට සහල් සැපයුම ප්‍රතික්ෂේප‍ෙ කොට ඒවා ගබඩාවල රඳවා ගෙන සිටින විශාල ව්‍යාපාරිකයන්ට එරෙහිව - හමුදා සේනාංක ද යොදාගෙන කල මෙහෙයුම මේ වනවිට අත්හැර දමා ඇත. මිල කවරක්දැ ' යි සහල් මෝල් හිමියන් විසින්ම නිවේදනය කොට තිබේ. මෙය සිදුවූ පලමු ...

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා...

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (2) | මෙන්ෂෙවිකයන් අතර මතභේද

රු සියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුල වූ මෙන‍්ෂෙවික්-බොල්ෂෙවික් භේදය එහි අවසානය කරා ලගා වූයේ 1912 දීය. මෙම වර්ෂයේ දී අවසානාත්මක වශයෙන් බොල්ෂෙවිකයන් හා මෙන්ෂෙවිකයන් පක්ෂ දෙකක් ලෙස වෙන්වූහ. භේදය සම්පූර්ණ වූයේ කණ්ඩායම් දෙක අතර සමථයක් ඇති කිරීමට ට්‍රොට්ස්කි බඳු අය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් ඉක්බිතිවය. මෙලෙස බොල්ෂෙවිකයන්ගෙන් වෙන් වූවත්, මෙන්ෂෙවික් පක්ෂය සමජාතීය එකක් නොවීය. ඒ තුල විවිධ උප ප්‍රවණතා විය. මෙම උප ප්‍රවණතා අතර ගැටුම ඉතාම පැහැදිලිව කරලියට පැමිණියේ 1914 පලමු ලෝක යුද්ධය ඇතිවීමත් සමගය. පලමු ලෝක යුද්ධය යුරෝපය පුරා වූ සමාජවාදී පක්ෂ වෙත තීරණාත්මක කඩ ඉමක් ඉදිරිපත් කලේය. දෙවන ජාත්‍යන්තරය මූලධාර්මික වශයෙන් යුධ විරෝධී විය. කම්කරුවන් අතර ජාත්‍යන්තර සහයෝගීතාවය වෙනුවෙන් පෙනී උන් මෙම සංවිධානය යුද්ධය හට ගැනීමත් සමග තීරණාත්මක අර්බුදයකට ලක්විය. යුරෝපයේ බොහෝ සමාජවාදී පක්ෂ; මෙතෙක් තමා දැරූ ස්ථාවරය වෙනස් කරමින්, යුද්ධයේදී තම තමන්ගේ රටවල ආණ්ඩුවලට සහයෝගය දෙන ප්‍රතිපත්තියකට මාරු වූහ. මෙම ප්‍රවණතාවය 'සමාජ-ජාත්‍යොන්මාදවාදය' ලෙස එහි විවේචකයන් විසින් හඳුන්වන ලදී. වචනයෙන් සමාජවාදය ගැන කථ...