Skip to main content

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද?

මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යාමේ තත්වය. 

චීනය හා ඉන්දියාව සංසන්දනය කිරීම වැදගත් වෙන්නේ මේ නිසා. චීනය තුල ආදායම්වල වර්ධනය ජනගහණයේ සෑම ස්ථරයකටම අදාලව දක්නට පුලුවන්. සමහර කොටස් අතර වැඩියෙන් ආදායම් වර්ධනයක් තිබෙන නමුත්, පොදුවේ ආදායම් වැඩි වෙලා තිබෙනවා. මේ නිසා චීනයේ අසමානතාවය වැඩි වීමට සාපේක්ෂව දිලිඳුකම අඩු වී තිබෙනවා. ඉන්දියාව, බ්‍රසීලය හෝ දකුනේ වෙනත් රටවල තත්වය මීට වෙනස්. මේ රටවල ආර්ථික වර්ධනය (සමහර රටවල මේ වර්ධන වේගය ඉතාම ඉහලයි) හුදු සුලුතරයකට පමණයි වාසි ගෙන දී තිබෙන්නේ. ගයනාවේ සියයට එකක පමණක් වූ පිරිසකට ; ඉන්දියාවේ සියයට 20 ක් පමණ ජනතාවකට. මෙම වර්ධනය බහුතරයකට ප්‍රතිලාභසහගත වී නැහැ. ඉන් බහුතරය දුගීකරණයට ලක්වී සිටිනවා. ජිනි සංගුණකය වගේ සමහර නිර්ණායක මෙම වෙනස ප්‍රමාණවත්ව පිලිබිඹු නොකරයි. නිදසුන් ලෙස, චීනයේ හා ඉන්දියාවේ ජිනි සංගුණකය සමාන විය හැකි නමුත්, අසමානතා වර්ධනය වීම නම් ප්‍රපංචය තුල තිබෙන සමාජ අර්ථය ඉන් නිවැරදිව නිරූපණය වෙන්නෙ නැහැ. 

දෙවන කරුණ තමයි, පිකටි ඇතුලු පිරිසගේ යෝජනා සීමාකාරීයි. සමහර විට ඉතාම බොලඳයි. අනුක්‍රමික බදු ප්‍රතිපත්තිය පිලිබඳ අදහස හොඳ එකක්. එහෙත් පොදු ආර්ථික ප්‍රතිපත්තිවලල වෙනසක් ඇති නොවේ නම්, ඉන් සිදුවිය හැකි බලපෑම අල්පයි. ප්‍රාග්ධනයට නිදහසේ හැසිරෙන්ට ඉඩ දෙන 'ලිබරල්' ප්‍රතිපත්තිය සමග අනුක්‍රමික බදු ප්‍රතිපත්තිය යෙදවීමේ අර්ථයක් නැහැ. ඒකාධිකාරී ප්‍රාග්ධනයේ සේවය වෙනුවෙන් කැප වී සිටින පාලකයන් එබඳු යෝජනාවක් 'ප්‍රායෝගික නොවන්නක්' ලෙස සලකා ඉවතලනු ඇත. 

අවම වැටුප් සම්බන්ධයෙන් ද කීමට තිබෙන්නේ ඒ හා සමාන දෙයක්. මෙය හොඳ යෝජනාවක් වන නමුත් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන තුරු මින් ලද හැකි ප්‍රතිඵල අල්පයි. වැටුප්වලට එරෙහිව උද්ධමනය මතු වේවි. මේක තමයි නීති හරහා අවම වැටුප් නියම කිරීමට විරුද්ධව ලිබරල්වාදීන් ගෙනෙන තර්කය. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වඩා සමාන ප්‍රවේශයක් සැපයුම අවශ්‍යයයි. එහෙත් මේ සඳහා රජයේ වියදම් වැඩි කල යුතුයි. ලිබරල්වාදීන් ඊට කැමති නැහැ. අනෙක් අතට, කාර්මිකකරණයක් හෝ පවුල් කෘෂිකාර්මය නූතනකරණයක් සිදු නොවේ නම්, 'වඩා හොඳ රැකියා' ඇති කිරීමක් ගැන අපට කල්පනා කල නොහැක. චීනය මේ සඳහා උත්සාහයක් ගනිමින් ඉන්නවා, නමුත් ඉන්දියාවේ එහෙම සූදානමක් නැහැ. 

රාජ්‍ය ණය අඩු කල යුතු බව ලිබරල්වාදීන් කියනවා. පිකටි ඇතුලු පිරිසත් ඊට එකගයි. එහෙත් රාජ්‍ය ණය වැඩිවන්නේ ඇයි? මෙය පැහැදිලි කල යුතුය. රාජ්‍ය ණයභාරය වැඩිවීම ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව මා තර්ක කරනවා. මෙය මෙම ප්‍රතිපත්ති විසින් අපේක්ෂා කරන දෙයක්, මොකද එතකොට තමයි මූල්‍ය ආයෝජන සඳහා අවස්ථා නිර්මාණය වන්නේ. 

‍තෙවනුව, පිකටි ඇතුලු පිරිස ලිබරල් ආර්ථික විද්‍යාඥයන්. මවිසින් තීරණාත්මක ලෙස සලකන කරුණු දෙකක් තිබෙනවා. එක, ඔවුන් ‍දේශපාලන මැදිහත්වීම්වලින් පුලුවන් තරම් නිදහස් විවෘත  වෙලඳපොලේ ශක්‍යතාවය පිලිබඳ විශ්වාස කරනවා. දෙක, ප්‍රාග්ධනයට රටකින් රටකට නිදහසේ යාමට ඉඩ දෙන විවෘත ගෝලීයකරණය හැර අන් විකල්පයක් නැති බවත්, දුප්පත් රටවල්වලට සංවර්ධිත රටවල මට්ටම වෙත ලගා වීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසිය එකී ගෝලීයකරණය බවත් ඔවුන් කල්පනා කරනවා. මොවුන් වැඩිම උනොත් ජෝසෆ් ස්ටිගිලිට්ස් පන්නයේ ප්‍රතිසංස්කරණවාදීන්. ගෝලීය ධනවාදී පද්ධතිය සමග ඒකාබද්ධ වීම තුලින් දුප්පත් රටවලට ධනවත් රටවල්වල මට්ටම සමග 'සමවීමට' හැකි බව ඔවුන් කල්පනා කරනවා. එහෙත් ශත වර්ෂ පහක් වන අසමාන සංවර්ධනයේ අඛණ්ඩ ඉතිහාසය මෙම අනුමානයේ වලංගුතාවය බරපතල ලෙස ප්‍රශ්න කරනවා. 

එහෙම නම්, මෙම අසමානතාවයේ වර්ධනය පාලනය කිරීමට ඔබ කරන යෝජනාව කුමක්ද?

අව්‍යාජ සංවර්ධනයක් සඳහා යථාර්තවාදී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දැරෙන කවර හෝ වෑයමක් ලිබරල්වාදය විසින් ව්‍යර්ථ කරන බවයි මගේ අදහස. සංවර්ධනය වීමට අපේක්ෂා කරන කවර හෝ සමාජයකට වුව පහත අභියෝගවලට මුහුණ දෙන්ට සිදුවෙනවා. පලමුව, අභ්‍යන්තර ඉල්ලුම මත පදනම්ව, හැකි තාක් දුරට නූතන, ඒකාබද්ධ වූ කාර්මික පද්ධතියක් ගොඩනැගීම ; දෙවනුව, පවුල් කෘෂිකර්මය කාර්මිකකරණය කිරීම හා ආහාර ස්වෛරීතාවය තහවුරු කිරීම සහ තෙවනුව, ඉහත කී ඉලක්ක දෙක අතර සම්බන්ධතාවය ලිබරල් නොවන ප්‍රතිපත්තියක් තුලින් සාක්ෂාත් කරගැනීම. මෙහි අර්ථය සමාජවාදය වෙත වූ දීර්ඝ මාර්ගය දිගේ සෙමෙන් ගමන් කිරීමය. 

මෙම ප්‍රතිපත්ති සදහා වෙලඳපොල නියාමනය කිරීමත්, ගෝලීයකරණ පාලනය කිරීමත් ඇවැසිය. එනම් හෙජමොනික බලවේගවල නිශේධනාත්මක බලපෑම හැකි තාක් අඩු වන ලෙස, විකල්ප ගෝලීයකරණයක් සඳහා සටන් කිරීම. පිකටි ඇතුලු පිරිස මෙවැන්නක් ගැන කල්පනා කරන්නේ නැහැ. එබඳු ප්‍රතිපත්තියකට පමණයි දිලිඳුකම පිටුදැකීමට හා අසමානතාවය අඩු කිරීමට පුලුවන්. චීනය අර්ධ වශයෙන් ඉන්නේ මේ මාවතේ ; දකුණේ අනෙක් රටවල් ඒ මාවත ගෙන නැහැ. ලිබරල්වාදය සම්බන්ධ රැඩිකල් විවේචනයක් නොමැති පසුබිමක් තුල, අසමානතාවය හා දිලිඳුකම ගැන කෙරෙන කථා හුදු අලංකාරිකයක් පමණයි. 

නව ලිබරල් ගෝලීයකරණයේ අර්බු‍දයෙන් ගැලවෙන්නේ කොහොමද යන්න වැදගත් ප්‍රශ්නයක්. විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක පදනම ලෙස ගෝලීයකරණයෙන් විසන්ධි විය යුතු බවට (delink) ඔබ යෝජනා කරනවා. විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය පදනම ලෙස ගෝලීයකරණයෙන් විසන්ධි විය යුතු බවයි ඔබගේ අදහස. ගෝලීයකරණයෙන් විසන්ධි වෙන්නේ‍ කොහොමද? යම් ආර්ථිකයක් විසන්ධි වීමට උත්සාහ කලොත්, පැහැදිලිවම ඒ රටේ ආර්ථිකයෙන් පිටතට ප්‍රාග්ධනය ගලාගෙන යනවා. නව ලිබරල්වාදයෙන් විසන්ධි වීමට ඔබ යෝජනා කරන ප්‍රායෝගික ක්‍රියාමාර්ග මොනවාද? 

විසන්ධි වීම කියන්නේ සටන් පාඨයක්. මම එය පාවිච්චි කරන්නේ සටන් පාඨයක් ලෙස. විසන්ධි වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග මොනවාද කියන එක සාපේක්ෂයි. සියයට සියයක් විසන්ධි වීම කල හැක්කක් නොවේ. සෝවියට් දේශය සහ මාඕගේ යුගයේ චීනය සියයට අසූවක් අනූවක් පමණ විසන්ධි වී සිටි නමුත් එය පවා සියයට සියයක් නෙමෙයි. එහෙත් ඔවුන් බටහිර රටවල් හා අනෙක් රටවල් සමග වෙලඳාම් කටයුතු කලා. විසන්ධි වීම යන්නෙන් ලෝකයා සමග සම්බන්ධකම් පැවැත්වීම නතර කල යුතු බව අදහස් වෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ, එහෙම කරන්න අවශ්‍යයත් නැහැ. විසන්ධිකරණය යන්නෙන් අදහස් වන්නේ ඔබගේ කොන්දේසි හෝ ‍එකී කොන්දේසිවල යම් ප්‍රමාණයක් පිලිගන්නා ලෙසට අධිරාජ්‍යවාදයට බල කිරීම. ලෝක බැංකුව ආර්ථිකය ව්‍යුහගත කිරීම පිලිබඳ කථා කරන විට, ඔවුන් කරන්නේ ඒකපාර්ශවීය ලෙස විසඳුම් පැටවීම. 

උදාහරණයක් ලෙස ඉන්දියාව ගනිමු. දැනට සිදුවෙන දේ තමයි ඉන්දියාව එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට අනුව ව්‍යුහගත වීම. නමුත් ඉන්දියාවට පුලුවන් අධිරාජ්‍යවාදයට අනුව ව්‍යුහගත නොවී සිටීමේ තීරණය ගන්න. නේරු තමන්ගේ කාලයේ උත්සාහ ගත්තේ මේකට. ඉන්දිරා ගාන්ධිගේ ව්‍යාපෘතිය වූයේද එයයි. වර්තමාන මෝඩි ආණ්ඩුව කරන්නේ ඒක නෙවි. ඔබට ආපසු විසන්ධිකරණය වෙත යා හැකියි. ඒ සඳහා වූ අවකාශය ඔබට තිබෙනවා. ඔබගේ රටට සාපේක්ෂව අප්‍රිකාවේ, මධ්‍යම ඇමරිකාවේ හෝ ආසියාවේ සමහර කුඩා රටවලට විසන්ධිකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අපහසුයි. 

එහෙත් නොබැඳි ජාතීන්ගේ සමුලුව පැවැති කාලයේ පසුබිම අපට නැවත නිර්මාණය කල හැකි නම්, ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රටවල් අතර දේශපාලන සහයෝගීතාවය යලි නිර්මාණය කල හැකි නම්, එවිට අප සුලුතරයක් නෙමෙයි. මිනිස් සංහතියේ සියයට අසූපහක් නියෝජනය කරන්නේ අප. තව දශක කිහිපයකින් මෙය සියයට අසූපහ ඉක්මවා යනවා. අප එතරම් දුර්වල නැහැ. අපට අපගේ ප්‍රමාණයට සාපේක්ෂව පමණක් නෙමෙයි අප විසින් ගොඩනගන විකල්ප දේශපාලන හවුලේ පරිමාණයට විසන්ධිකරණය විය හැක. අපගේ රටවල් මත කේන්ද්‍රයේ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක් අත තිබෙන ග්‍රහණය ලිහිල් කල හැක්කේ එවිට.

සමහරු අතර තිබෙන විශ්වාසයක් තමයි යටත්විජිතවාදය සහ පසුව ගෝලීයකරණය තුන්වන ලෝකයේ ආර්ථිකයන් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ කරන බව හා මෙය මෙම රටවල් වෙත නූතනත්වය ගෙන එන බව. ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං ඉන්දියාවට දුම්රිය මාර්ග හා නවීන දෑ හඳුන්වා දීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ස්තුතිය පුද කලා. අද දවසේ ස්ලැවෝයි ජිජැක් බඳු අය පවා බිය වෙනවා විසන්ධිකරණය නිසා මේ සමාජවල වැඩවසම් ප්‍රතික්‍රියාවක් ඇති විය හැකි බව. නූතනත්වය සඳහා වන විකල්ප මාර්ගයක් තිබේද? ධනවාදී සංවර්ධනයේ අවධිය තරණය නොකොට සමාජයකට නූතනත්වය අත්පත් කරගත හැකිද?

සිං මහත්මයා බ්‍රිතාන්‍යයන්ට දුම්රිය පාරවල් හඳුන්වාදීම සම්බන්ධයෙන් ස්තුති කරන විට ඔහු කීවේ මුලු කථාවෙන් බෙහොම සුලු පංගුවක්. මීට සමගාමීව බ්‍රිතාන්‍යයන් එකල පැවැති ඉන්දීය කර්මාන්තය විනාශ කලා. එකල සමහර ඉන්දීය කර්මාන්ත බ්‍රිතාන්‍යයට වඩා සංවර්ධිත මට්ටමක තිබුණා. ඒ වගේම දේශපාලන බලය සහිතව සිටි අය ආර්ථික බලවතුන් බවට පත්කලේ යටත්විජිතවාදීන්. නිදසුන් ලෙස, ඉන්දියාවේ විවිධ  කුමාර රාජ්‍යයන් වෙනුවෙන් ගොවි ජනයාගෙන් හා අනෙක් අයගෙන් අයබදු එකතු කිරීම ආදී කටයුතුවල නියුක්ත වූ සමින්දාර්වරුන් බ්‍රිතාන්‍යයන් යටතේ නව ඉඩම් හිමියන් බවට පත්වූවා. බෙංගාලයේ, පන්ජාබයේ හා ඉන්දියාවේ බස්නාහිර හා නැගෙනහිර ප්‍රදේශවල විශාල ඉඩම් හිමි පන්තියක් නිර්මාණය වූයේ මෙලෙස. මොවුන් ඉඩම් කොල්ලකෑම්වල යෙදුණා. බ්‍රිතාන්‍යයන් දුම්රිය මාර්ග පමණක් නෙමෙයි, විවිධ ආකාරවලින් සාහසිකත්වය, විනාශය හා පීඩනය ගෙන ආවා. 

අපට අවශ්‍ය කවර ආකාරයේ නූතනත්වයක්ද? ධනවාදී නූතනත්වය හා සමාජවාදී නූතනත්වය යන දෙකම නූතනත්වයන්. හුදු කිසිදු අර්ථයකින් තොරව නූතන්තවය ගැන කථා කොට, ගෝලීයකරණය නිසා නූතනත්වය එන බව පැවැසීම සාවද්‍යයයි. මේ නිසා සමහර විට ඉන්දියාවට ජංගම දුරකථනය එනවා වෙන්න පුලුවන්. එහෙත් ඒ වගේම ඉන්දියාවේ ජනගහණයෙන් සියයට අසූවක් දුගීකරණය වෙනවා. මේ නිසා නූතනත්වය අප නිවැරදි ලෙස අර්ථ දක්වාගත යුතුය. අපට නූතනත්වය අවශ්‍යයයි. විසන්ධිකරණය යන්නෙන් අදහස් වන්නේ යලි පැරණි ඉන්දියාවට හෝ යටත්විජිත ඉන්දියාවට ගමන් කිරීම නෙමෙයි. මෙය නව ආකාරයක නූතනත්වයක් ඉනිදායට ගෙන එන්නක් විය යුතුයි. 

'සමකාලීන ධනවාදය තුල ෆැසිස්ට්වාදයේ ප්‍රති-ආගමනය' නම් ලිපිය තුල ඔබ තර්ක කරනවා සමකාලීන ධනවාදයේ අර්බුදය විසින් ෆැසිස්ට්වාදයේ නැගීම සඳහා තත්වයන් නිර්මාණය කොට තිබෙන බව. ලෝකයේ විවිධ රටවල විවිධ දක්ෂිණාංශික බලවේගවල නැගීම තුල මෙම කරුණ පෙනී යනවා. සම්භාව්‍ය ෆැසිස්ට්වාදය යලි ඇති වේ යැයි ඔබ සිතනවාද?

නව ලිබරල් ගෝලීයකරණය චිරස්ථායී නැහැ. එය ප්‍රතිරෝධයන් අවුලනවා. ගෝලීය දකුණේ විවිධ විරෝධතා තිබෙනවා. චීනය තමුන්ගේ විධිහකට ඒ සමග ගනුදෙනු කරනවා. ඇමරිකාවේ, ජපානයේ හා යුරෝපයේ ජනතාවට ගෝලීයකරණය නිසා විවිධ ප්‍රශ්න ඇති වී තිබෙනවා. මේ නිසා මෙය චිරස්ථායී නැහැ. එය චිරස්ථායී නොවන නිසාම, එහි දුර්වලතාවය ජයගැනීමේ ආකාරයක් ලෙස ෆැසිස්ට්වාදය වෙත නැඹුරු වෙන්න පුලුවන්. ෆැසිස්ට්වාදය යලි බටහිර රටවල හොල්මං කරන්නේ මේ නිසා. එය අපේ රටවල් වෙතත් ඇවිල්ලා. ඉස්ලාමයේ නාමයෙන් දියත් වන ත්‍රස්තවාදය එක්තරා ආකාරයක ස්වදේශික ෆැසිස්ට්වාදයක්. ඉන්දියාවව තුල ඔබට හින්දුත්වවාදී ප්‍රතිගාමීත්වය දැකගන්නට පුලුවන්. 

ඉන්දියාව යනු බහුතරය හින්දු ආගමිකයන් වුවත් අනෙක් ආගම්වල අයට තිබෙන සමානකම පිලිගත් රටක්. මා මෘදු ෆැසිස්ට්වාදයක් ලෙස නම් කරන ඉන්දියාවේ වත්මන් ආණ්ඩුව මෙම ප්‍රවණතාවයෙන් ඉවතට ගමන් කොට තිබෙනනවා. ඉස්ලාමීය ලෝකයේ බොහෝ රටවල, පකිස්ථානයේ, ඉරාකයේ , සිරියාවේ, ඊජිප්තුවේ, ඇල්ජීරියාවේ හා මොරොක්කෝවේ මෙම තත්වය දක්නට පුලුවන්. මෙය වෙනත් බොහෝ රටවලත් පැතිරෙමින් තිබෙන ප්‍රවණතාවයක්. 

පලමු කොටස සඳහා මෙම සබැඳිය බලන්න. 



Comments

Popular posts from this blog

කොවිඩ් -19 මදිවට IMF! : කොවිඩ්වලින් වැටෙන ආර්ථිකයට IMF ඇනීම

 ශිරන් ඉලන්පෙරුම  කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ එහි ආර්ථික ඉතිහාසයේ ඉතා අසීරු කාල පරිච්ඡේදයකය. 2012 වසරේ සිටම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින්  නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇති අතර, 1990 දශකයේ මැද භාගයේ නොදුටු, දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇති බාහිර ණය තොග ඉතා ඉහළ  මට්ටමකට ළඟා වී ඇත. 2016 දී දීර්ඝ කාලීන පියවීමේ / ගෙවීමේ ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1 ක මුදලක් ණයට ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇති කර ගත්තේය.  රටේ දිනෙන් දින වැඩිවන ණය නිසා හීන වී යන ආර්ථික වර්ධනය නවත්වා ගැනීමට ඉහත සඳහන් ණය මුදල උදව් වෙන බවට  පවසමින්  ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ණය ගිවිසුම සාධාරණීකරණය කළහ. පුරෝකථනය කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි මාලාවක් මේ හා සමග නිකුත් කලේය. එනම්, රජයේ වියදම් අඩු කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් මූල්‍ය හිඟය අඩු කිරීමයි. මුදල් අවප්‍රමාණය කෙරුණි. ආනයන නිදහස් කෙරුණි. ඉන්ධන සහ පොහොර සහනාධාර ඉවත් කෙරුණි. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවන ලදී.  නමුත් මේවා සැබවින්ම වැඩ කළා ද? 2016 සහ 2019 අතර වර්ධන වේගය ( ජාත්‍යන්

ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන්

  සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල   සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ ' තුන්වන ලෝකය ' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්‍රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට ' සංවර්ධනය වෙන්න බැරි ඇයි ?' කියන ප්‍රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත , අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල අමීන් මේ පද්ධතිය තුල ගෝලීය උතුරේ රටවල් ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්කිරීම තුලින් සංවර්ධනය වන බව පැවසීය. ' පරායක්තතා න්‍යාය ' (dependency theory) නමින් ප්‍රකට වූ ගුරුකුලයේ පුරෝගාමියෙක් ලෙස ‍ හෙතෙම පරිධියේ රටවල සිට ගෝලීය උතුරේ රටවල් වෙත සම්පත් ගලනය සිදුවන හැටි ; ඒ තුල පරිධියේ රටවල ඌන සංවර්ධනය දිගටම පවතින හැටි පෙන්වා දී තිබේ. පරිධියෙන් උද්ධරණය කෙරෙන අතිරික්තය ඔහු හඳුන්වන්නේ ' අධිරාජ්‍යවාදී කුලිය ' යන නමින්ය. පහත සම්මුඛ සාකච්ඡාව 2018 වර්ෂයේ, එනම් මිය යාමට ටික කලෙකට පෙර ඔහු ඉන්දියාවේ Frontline සගරාව සමග කල සංවාදයක සිංහල පරිවර්තනයයි. ගෝලීයකරණය , අසමානතා වර්ධනය

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය

රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ජය නොගත් විකල්ප යථාර්තයක ඇතැම්විට රුසියාවේ පාලක පක්ෂය වන්නට ඉඩ තිබූ මෙන්ෂෙවික් පක්ෂයට පසුව අත් වූ ඉරණම කුමක්ද? මෙම කෙටි ලිපි පෙල ඒ පිලිබඳවය. ***  මෙන්ෂෙවික්වරුන්ට වූ දේ ගැන කථා කිරීමට පෙර මෙන්ෂෙවික්වරුන් යනු කවුදැයි හදුනාගත යුතුය. මෙන්ෂෙවික්වරුන්ට සිදුවූ දේ ඔවුන් 'කවුද?', ඔවුන් 'කලේ කුමක්ද?' යන්න සමග තදබල ලෙස බැඳී පවතී.   බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් යනු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රවණතා දෙකකි. මෙම භේදය ඇති වූයේ 1903දීය. මෙකල යුරෝපයේ කම්කරු පාන්තික සමාජවාදී ව්‍යාපාරය හැඳින්වූ‍යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමිනි