Skip to main content

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය



රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ජය නොගත් විකල්ප යථාර්තයක ඇතැම්විට රුසියාවේ පාලක පක්ෂය වන්නට ඉඩ තිබූ මෙන්ෂෙවික් පක්ෂයට පසුව අත් වූ ඉරණම කුමක්ද? මෙම කෙටි ලිපි පෙල ඒ පිලිබඳවය.

*** 

මෙන්ෂෙවික්වරුන්ට වූ දේ ගැන කථා කිරීමට පෙර මෙන්ෂෙවික්වරුන් යනු කවුදැයි හදුනාගත යුතුය. මෙන්ෂෙවික්වරුන්ට සිදුවූ දේ ඔවුන් 'කවුද?', ඔවුන් 'කලේ කුමක්ද?' යන්න සමග තදබල ලෙස බැඳී පවතී.  

බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් යනු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රවණතා දෙකකි. මෙම භේදය ඇති වූයේ 1903දීය. මෙකල යුරෝපයේ කම්කරු පාන්තික සමාජවාදී ව්‍යාපාරය හැඳින්වූ‍යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමිනි. විවිධ රටවල වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ 'දෙවන ජාත්‍යන්තරය' යටතේ සම්බන්ධීකරණය වූහ. දෙවන ජාත්‍යන්තරයේ ප්‍රබලතම පක්ෂය ලෙස සැලකුණේ - ඒ වනවිට ඉතාම විශාල බහුජන පක්ෂයක් බවට පරිවර්තනය වී තිබූ - ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. 

යුරෝපයේ වෙනත් රටවලට සාපේක්ෂව රුසියාව අඩුවෙන් කාර්මිකකරණය වී තිබූ රටකි. තවද, අනෙක් රටවල්වල යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්ථාපිත වී තිබුණත් රුසියාවේ තිබුණේ සාර් රජුගේ ඒකාධිපති පාලනයකි. මේ නිසා පටන් ගැන්මේ සිටම රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ක්‍රියාත්මක වන්ට සිදුවූයේ යටිබිම්ගත රහසිගත ව්‍යාපාරයක් ලෙසය. රුසියාවේ තිබූ මර්දනය නිසා එහි නායකයන් බොහෝ ප්‍රමාණයක් විදේශගත වූහ. ලන්ඩන් නුවර සිට 'ඉස්ක්‍රා' (ගිනිපුපුර) පුවත්පත ප්‍රකාශයට පත්කල ප්ලෙහනොව්, ලෙනින්, මාටොව් ඇක්සල්රොඩ්, වේරා සසුලිච් හා පොට්‍රෙසොව් යන පිරිසගෙන් යුක්ත කණ්ඩායම පක්ෂ නායකත්වයේ න්‍යෂ්ඨිය විය. 

'ඉස්ක්‍රා' කර්තෘ මණ්ඩලය 

භේදය හටගත්තේ 1903 පැවැති පක්ෂයේ දෙවන සම්මේලනයේදීය. බැලූ බැල්මට මතභේදය තිබුණේ පක්ෂ සාමාජිකයා කවරෙක් විය යුතුද යන සංවිධාන ප්‍රශ්නය සම්බන්ධවය. රුසියාවේ තිබුණු මර්දනීය තත්වය යටතේ ක්‍රියාකිරීමට නම්, දැඩි විනයකින් බැඳුණු සංවිධානයක අවශ්‍යතාව දුටු ලෙනින් පක්ෂ සාමාජිකයා අවශ්‍යයෙන්ම පක්ෂ විනයට යටත්, පක්ෂ සංවිධානයක සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරන්නෙක් විය යුතු බව කල්පනා කලේය. එවකට ලෙනින්ගේ සමීප සගයෙක් වූ ජුලියස් මාටොව්ගේ අදහස වූයේ පක්ෂ සංවිධානයකට සෘජුව අයත් නොවූවත්, පක්ෂයට ආධාර කරන අ‍යත් සාමාජිකයන් ලෙස සැලැකිය යුතු බවය. සම්මේලනයේ දී ලෙනින්ගේ කණ්ඩායමට සුලු බහුතරයක් ලැබුණු අතර බොල්ෂෙවික් යන නම ඔවුන්ට ලැබුණේ 'බහුතරය' යන අරුතැති රුසියානු වචනය වන බොල්ෂින්ට්ස්වො යන්න අනුසාරයෙනි. සුලුතරය යන අරුත සහිත මෙන්ෂින්ට්ස්වො (සුලුතරය) යන්න 'මෙන්ෂෙවික්' බවට පත්විය. 

‍බොල්ෂෙවිකයන්ගේ නායකයා හා න්‍යායාචාර්යවරයා වූයේ ලෙනින්ය. මුලදී එවකට රුසියානු මාක්ස්වාදයේ ජ්‍යෙෂ්ඨ නායකයා වූ ප්ලෙහනොව් ලෙනින්ට සහය දුන්නත්; කෙටි කලෙකින් පිල් මාරු කලේය. මෙන්ෂෙවිකයන්ගේ න්‍යායාචාර්යවරයා වූයේ ම‍ාටොව්ය. 

බැලූ බැල්මට දෙපිල අතර වූයේ සංවිධාන මූලධර්ම පිලිබද මතභේදයක් වුවත්, සැබෑවටම ඊට වඩා බරපතල භේදයක් තිබුණි. එනම් රුසියාවේ විප්ලවය පිලිබඳ ඉදිරි දර්ශනය කුමක්ද? යන්නය. එකල පොදුවේ පිලිගත් මාක්ස්වාදී අදහස වූයේ සමාජවාදී විප්ලවයක් ඇති වීමට නම්, රටක් ධනවාදී සංවර්ධනයේ ඉහල අවධියක් කරා වැඩී සිටිය යුතු බවය. මේ අනුව ජර්මනිය හෝ ප්‍රංශය බඳු රටක සමාජවාදී විප්ලවයක් විය හැකි යැයි පිලිගන්නා ලදී. 

ලෙනින් සහ මාටොව්
විශාල ගොවි ජනගහණයක් සිටි, අඩු කාර්මික සංවර්ධනයක් තිබූ රුසියාව 'සමාජවාදී විප්ලවයක් ඇතිවීමට තරම් මෝරා නැති' බවට සලකන ලදී. එරට කම්කරු ජනගහණය සමස්ත ජනගහණයෙන් අල්පතරයක් විය. ගම්බද පෙදෙස්වල වූයේ වංශාධිපති ඉඩම් හිමියන් බලය හොබවන අර්ධ-වැඩවසම් වටපිටාවකි. රුසියාව තුල ඇති විය යුතු විප්ලවය ලෙස සැලකුණේ, රාජාණ්ඩුව හා අර්ධ වැඩවසම් ක්‍රමය පෙරලා දමන ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි. ආර්ථිකය තුල ධනවාදී නිෂ්පාදන සම්බන්ධතා තහවුරු කිරීම හා දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම මෙම විප්ලවයේ අරමුණු ලෙස සලකන ලදී. 18 හා 19 වන සියවස්වල බටහිර යුරෝපයේ ඇති වූ මෙබඳු විප්ලවවලට නායකත්වය දී තිබුණේ ලිබරල් ධනපති පන්තිය හා උගත් මධ්‍යම පන්තියයි. 

මෙම ප්‍රධාන ධාරාවේ අදහස අනුව යමින් මෙන්ෂෙවික්වරුන් කල්පනා කලේ එලැඹෙන විප්ලවයේ කම්කරු ව්‍යාපාරයේ කාර්යය එම විප්ලවයට නායකත්වය දෙන ලිබරල් ධනපති පන්තියට සහයෝගය දීම බවය. රුසියාව 'සමාජවාදය සඳහා මෝරා නැති නිසා' වැඩවසම්-රාජාන්ඩු විරෝධී අරගලයේ දී ලිබරල් ධනපති පන්තියට හා මැද පන්තියට සහයෝගය දෙමින්; ඒ අතර කම්කරු පන්තියේ ඉල්ලීම් නියෝජනය කිරීම සමාජවාදීන්ගේ කාර්යය බවට ඔවුන් සැලකූහ. 

මීට විරුද්ධව ලෙනින්ගේ අදහස වූයේ රුසියාවේ පැවැති සුවිශේෂී තත්වය හා පසුගාමී කොන්දේසි අනුව, රාජාණ්ඩු විරෝධී විප්ලවයට නායකත්වය දීමට තරම් ලිබරල්-ධනපති පන්තිය සටන්කාමී නොවන බවය. ධනපති-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පිලිබඳ සාම්ප්‍රදායික මාක්ස්වාදී අදහස තරමක් 'සංශෝධනය' කරමින්, ලෙනින්ගේ අදහස වූයේ රුසියාවේ ධනපති-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට නායකත්වය දිය යුත‍්තේ කම්කරු-ගොවි සන්ධානයක් විසින් බවය. එනම් සමාජයේ නිර්ප්‍රභූ පන්තීන් බවය. ලිබරල්වරුන් සමග සභාගයකට ලෙනින් දැඩි ලෙස විරෝධය දැක්වීය. (විප්ලවයේ ස්වරූපය ගැන මේ දෙගොල්ලන්ටම වඩා සපුරා වෙනස් අදහසක් ඉදිරිපත් කලේ මෙන්ෂෙවික් පිලේ සිටි ට්‍රොට්ස්කිය. කථාව වෙනතකට යන නිසා එය අපි පසුවට තබමු)

ඉහත කී මතභේදය නිසා මෙන්ෂෙවිකයන් සමාජවාදී ව්‍යාපාරයේ 'මධ්‍යස්ථ' පිල ලෙසත්; බොල්ෂෙවිකයන් 'රැඩිකල්' පිල ලෙසත් හැඩ ගැසුණි. පක්ෂ සම්මේලනයේ දී සුලුතරය වුවත්, ඉතා ඉක්මනින් පක්ෂයේ බහුතරය බවට මෙන්ෂෙවිකයන් පත්වූහ. ලෙනින් හැර ඉස්ක්‍රා පිලේ සිටි සියල්ලෝ මෙන්ෂෙවික් පිල සමග එකතු වූහ. අන්තිමට ලෙනින්ට ඉස්ක්‍රා පුවත්පතේ බලය ද අහිමි විය. 

1905 පලමු රුසියානු විප්ලවය ඇති වූ විට, කම්කරු සටන්වල වැඩි සහයෝගය ලැබූ පක්ෂය වූයේ මෙන්ෂෙවිකයන්ය. මෙන්ෂෙවික් නායකයෙක් ලෙස ‍ට්‍රොට්ස්කි පීටර්ස්බර්ග් නුවර සෝවියට් සභාවේ සභාපතිධූරය ඉසිලුවේය. මෙන්ෂෙවික්-බොල්ෂෙවික් ලෙස භේද වී සිටියද, තවමත් දෙපිලම සිටියේ එකම පක්ෂයක් තුලය. 1905 විප්ලවයේ පරාජයෙන් පසුව දෙපිල අතර වූ භේදය වඩාත් පැහැදිලි වූ අතර ස්වාධීන ප්‍රවණතා දෙකක් ලෙස ඔවුන් හැඩ ගැසෙන්ට වූහ. රුසියානු විප්ලවයේ ධනපති ස්වරූපය සම්බන්ධයෙන් පොදු අදහසක හිටියත්, මෙන්ෂෙවික් ප්‍රවණතාවය තුල විවිධ අභ්‍යන්තර වෙනස්කම් තිබුණි. මෙම වෙනස්කම් වල ස්වරූපය හා ඒ තුල ඉදිරියට ආ ප්‍රවණතා නිසා මෙන්ෂෙවික්වාදය හැඩ ගැසුණු ආකාරය ඔවුන්ගේ පසුකාලීන ඉරණම තීන්දු කලේය.

ඊලග ලිපියෙන් අපි ඒ වෙනස්කම් ගැන විමසමු. 


Comments

Popular posts from this blog

දහයට 'නොනිදන' ඩඩ්ලි

ස හල් යුද්ධය සහල් මෝල් කතිපයාධිකාරයට ජය ගෙන දෙමින් අවසන් වී තිබේ. බලයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රචාරය කෙරුණු ප්‍රතිරූපය වූයේ ඔහු ශක්තිමත් පාලකයෙක් බවය ; රට ' විනයගත ' කිරීම සඳහා එබඳු තද පාලකයෙක් අවශ්‍ය බවය. මෙම තර්කය අනුව යමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුණි. අතිමහත් බලතල ජනාධිපතිවරයා වෙත පැවරුණි. තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුව වැඩ ඇල්ලුවේ ' නොහැක්කක් නොමැත ' ස්වරයෙනි. පසුගිය සැප්තැම්බර් 2 වන දා සහල් සඳහා උපරිම තොග මිලක් නියම කරමින් , ආණ්ඩුව සහල් මෙහෙයුම දියත් කලේ හදිසි නීති බලතල පවා සහිතවය. කෙසේ වුවද , ' කවුද රජා ' යැයි පැහැදිලි වීමට ගත වූයේ සති දෙක තුනකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම නිසා පීඩාවට පත් පාරිභෝගික ජනයා සඳහා වූ සහනයක් ලෙස සහල් සඳහා උපරිම තොග මිලක් නීතියෙන් නියම කල ආණ්ඩුව - එම මිලට සහල් සැපයුම ප්‍රතික්ෂේප‍ෙ කොට ඒවා ගබඩාවල රඳවා ගෙන සිටින විශාල ව්‍යාපාරිකයන්ට එරෙහිව - හමුදා සේනාංක ද යොදාගෙන කල මෙහෙයුම මේ වනවිට අත්හැර දමා ඇත. මිල කවරක්දැ ' යි සහල් මෝල් හිමියන් විසින්ම නිවේදනය කොට තිබේ. මෙය සිදුවූ පලමු ...

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා...

කොවිඩ් -19 මදිවට IMF! : කොවිඩ්වලින් වැටෙන ආර්ථිකයට IMF ඇනීම

 ශිරන් ඉලන්පෙරුම  කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ එහි ආර්ථික ඉතිහාසයේ ඉතා අසීරු කාල පරිච්ඡේදයකය. 2012 වසරේ සිටම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින්  නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇති අතර, 1990 දශකයේ මැද භාගයේ නොදුටු, දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇති බාහිර ණය තොග ඉතා ඉහළ  මට්ටමකට ළඟා වී ඇත. 2016 දී දීර්ඝ කාලීන පියවීමේ / ගෙවීමේ ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1 ක මුදලක් ණයට ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇති කර ගත්තේය.  රටේ දිනෙන් දින වැඩිවන ණය නිසා හීන වී යන ආර්ථික වර්ධනය නවත්වා ගැනීමට ඉහත සඳහන් ණය මුදල උදව් වෙන බවට  පවසමින්  ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ණය ගිවිසුම සාධාරණීකරණය කළහ. පුරෝකථනය කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි මාලාවක් මේ හා සමග නිකුත් කලේය. එනම්, රජයේ වියදම් අඩු කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් මූල්‍ය හිඟය අඩු කිරීමයි. මුදල් අවප්‍රමාණය කෙරුණි. ආනයන නිදහස් කෙරුණි. ඉන්ධන සහ පොහොර සහනාධාර ඉවත් කෙරුණි. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවන ලදී.  නමුත් මේවා සැබවින්ම වැඩ කළා ද?...