මෙය ලංකාවේ සිදුවූ හුදෙකලා දෙයක් නොව, එවකට ලෝකය පුරාවට වූ ප්‍රවණතාවයක පිලිබිඹු වීමකි. සැමුවෙල් මොයින් නම් මානව හිමිකම් විෂය පිලිබඳ ඉතිහාසඥයා මෙම අවධිය හඳුන්වන්නේ 'ජාතික සුබසාධනයේ යුගය' (Age of national welfare) ලෙසය. ජාතික රාජ්‍යයේ මැදිහත්වීමෙන්, 'ඇති හැකි අය' හා 'නැති බැරි අය' අතර පරතරය අඩු කිරීම, පහල පන්තීන් බලවත් කිරීම ජාතික සුබසාධනවාදයේ එක් කේන්ද්‍රීය අදහසකි.
කෙසේ වුවද, මේ යුගයේ ජාතික සුබසාධනවාදය තුල වූ ලොකුම දුර්වලතාවය වූයේ ඒ තුල සමාජ-ආර්ථික සමානාත්මතාවය ඇගයුමක් ලෙස සැලකුවත්, 'අනන්‍යතා' මත පදනම් වූ අසමානතාවයන් ; ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස් කොට සැලැකීම්, වාර්ගික හා ආගමික බහුතරවාදය ආදිය හරයාත්මක ඇගයුම් ලෙස ප්‍රමාණවත් ලෙස පිලිගනු නොලැබීමය. සමහර සුබසාධන රාජ්‍යයන් ගොඩනැගුණේම, මෙකී සමහර වෙනස් කොට සැලකීම් ( විශේෂයෙන්ම වාර්ගික-ආගමික විෂමතා) ආයනතත කරමින්ය. මේ සම්බන්ධ හොඳම නිදසුන, ඇමරිකාවේ ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් යටතේ දියත් වූ නව සම්මුතිය (New deal) වැඩපිලිවෙල තුල පහල පාන්තික සුදු ජාතිකයන් අති විශාල සංඛ්‍යාවකගේ ජීවන තත්වය උසස් වී බොහෝ අය මැද පන්තිකයන් බවට පත්වීම සහ කලු ජාතිකයන් එම වැඩසටහන තුල නොසලකා හැරීමය. මීට සමාන්තර ලෙස ලංකාවේ ජාතික සුබසාධන ව්‍යාපෘතියේ පැවැති බරපතලම සීමාව ලෙස ඒ තුල දක්නට ලැබුණු වාර්ගික පක්ෂපාතීත්වය; එනම් එම ව්‍යාපෘතියට සිංහල බෞද්ධ නොවන ජනකොටස්වල සහානුමැතිය හොඳින්ම දිනාගැනීමට අපොහොසත් වීම සැලකිය හැක.
1980 ගණන්වලින් පසුව ලෝකයේ බලවත් වූ නව ලිබරල් පැරඩයිමය මගින් කලේ ඉහත කී ජාතික සුබසාධන ව්‍යාපෘතිය තීරණාත්මකව ආපසු හැරවීමයි. ඇති නැති පරතරය අඩු කිරීම සඳහා රජය විශාල වීම ආර්ථික දියුණුවට බාධාවක් බවත්, ඇති නැති පරතරයේ ඇති ප්‍රශ්නයක් නැති බවත්, රටක් දියුණු වන්ට නම් 'ඇත්තන්' ට වැඩියෙන් පොහොසත් වීමට ඉඩ ලබා දිය යුතු බවත්, ඔවුන් පොහොසත් වන විට ඔවුන් උපයන ධනය පහලට රූටා ගිහින් 'නැත්තන්ට' මොකක් හෝ දෙයක් ලැබෙන බවත් ඒ අනුව කියැවිණ. වැදගත් වන්නේ සමාජ ආර්ථික සමානාත්මතාවය ඇති කිරීම නොව 'දිලිඳුකම පිටුදැකීමයි' යන ලෝක බැංකු උද්ධෘතය මගින් සංකේතනය වන්නේ මේ ලෝක දර්ශනයයි.
මේ තුල ප්‍රවර්ධනය කෙරුණේ ජාතික සුබසාධන යුගය තුල පහල පාන්තික ජන කොටස් ලද ජයග්‍රහණ ධනවත් ව්‍යාපාරිකයන්ගේ වාසිය පිණිස ආපසු හැරවීමය ; සුබසාධන සේවා පෞද්ගලිකකරණය, පොදු සම්පත් ධනවත් ව්‍යාපාරිකයන්ට කොල්ල කන්නට ඉඩ හැරීම, ගොවීන් අස්වාමික කෙරෙන ඉඩම් ප්‍රතිසංස්කරණ, කම්කරු නීති ලිහිල් කිරීම ආදිය මේ වට්ටෝරුවේ අංගෝපාංගයන්ය. මේ වූ කලී එක්තරා යුගයක 'ප්‍රගතිශීලී' යැයි අර්ථ දැක්වුණු දෙයෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයයි. ලංකාවට තිබෙන ලොකුම කොඩිවිනය අපේ රටේ 'සමාජවාදී මානසිකත්වය' බව කියන විට, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වාදීම එක්සත් ජාතික පක්ෂය විසින් කල ලොකුම සේවය ලෙස අය වැය කථාවේ දී හඳුන්වන විට, චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකි නිදහස් පක්ෂයට කල එම පක්ෂය 'සෝවියට් පන්නයේ සමාජවාදී' පැරඩයිමයෙන් මුදා ගැනීම බව කියන විට මංගල සමරවීර මහතා එකල අර්ථයෙන් ගත්කල පට්ට ප්‍රතිගාමියෙකි. ප්‍රගතිශීලී බලවේගවල සතුරෙකි.
එහෙත් වර්තමානයේ වෙනසට හේතු කිම? ගෝලීය නව ලිබරල්වාදය හුදු තනිව වැඩුණා නොවේ. ඊට ගමන් සගයෙක් හිටියේය. ඒ 'මානව හිමිකම්' ව්‍යාපෘතියයි'. ජාතික සුබසාධනයේ යුගය විසින් නොසලකා හල ක්ෂේත්‍රය ; එනම් අනන්‍යතා මත වෙනස් කොට සැලකීම හෙලා දැකීමේ ක්ෂේත්‍රය අන්තර්ජාතික මානව හිමිකම් කතිකාවේ වේශයෙන් 1970 ගණන්වල සිට වර්ධනය වූයේය. මෙලෙස බලගතු වූ මානව හිමිකම් කතිකාවේ හා නව ලිබරල් ව්‍යාපෘතියේ පොදු ලක්ෂණ කිහිපයක් විය. දෙකම තනි පුද්ගල අයිතිවාසිකම් වැදගත් කොට සලකයි. රජයට 'එරෙහිව' පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. රජය දෙස සහ 'බහුතරය' දෙස සැක ඇසින් බලයි.
සීතල යුද්ධයෙන් පසුව නිර්මාණය වූ ලෝක පර්යායේ වැදගත්ම ලක්ෂණය නම් නව ලිබරල් ව්‍යාපෘතිය හා මානව හිමිකම් කතිකාව අතර වර්ධනය වූ කතිකාමය සුසම්බන්ධයයි. විමුක්තකාමී හා ආධිපත්‍යයේ විවිධ ආකාරවලට එරෙහි වීම යන අර්ථයෙන් ප්‍රගතිශීලී විභවයක් තිබූ මානව හිමිකම් විෂය පථය නව ලිබරල්වාදය විසින් අවශෝෂණය කර ගැනුණි. ගැහැණු ලමුන්ට අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන ලෝක බැංකුව කථා කරයි. කෙන්යාවේ සමලිංගිකත්වය අපරාධ වරදක් වී තිබීම ගැන බැරැක් ඔබාමා කණගාටු වෙයි. කම්කරුවන්ට නිසි ලෙස වැටුප් නොගෙවන්නේ යැයි චෝදනා ලබා සිටින Amazon සමාගම Black lives matter වෙනුවෙන් සහයෝගීතා පුවරු සවි කරයි. උණ හැදුණු ස්ත්‍රී කම්කරුවන්ට නිවාඩු නොදී වැඩ ගන්නා ලංකාවේ ඇතැම් ගාමන්ට් කොම්පැනි 'කාන්තා දින සැමරුම්' තබමින්, තම ආයතන ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ යෙදී සිටින බව කියා සිටී.
මංගල සමරවීර මහතා යනු මෙම ගෝලීය නව ලිබරල් හෙජමොනියේ සිංහල වර්ෂන් අනුවාදනයයි. ජාතිවාදයට විරුද්ධ නිසා, සමලිංගිකත්වයට පක්ෂ නිසා, ස්ත්‍රීන්ට මත්පැන් බීමට අයිතිය තිබෙන බව කියන නිසා හෙතෙම ප්‍රගතිශීලියෙක් යැයි අපගේ 'ප්‍රගතිශීලීහු' සලකති. ඔහුගේ ගුණ වයති. ලංකාවට තිබෙන ලොකුම කොඩිවිනය සමාජවාදී මානසිකත්වයය යැයි කියන, එම සමාජවාදී මනෝභාවයේ ශේෂයන් පවා අතු ගා දැමිය යුතු යැයි කියන දේශපාලනඥයෙක් නැති ලංකාව මහා හිස්තැනක් යැයි විස‍්සෝප වෙති. මොකක් මේ වෙලා තියෙන්නේ? සිංහල සමාජයේ දේශපාලන සාකච්ඡාව තුල ආර්ථික හා සමාජ සාධාරණත්වය පිලිබඳ ඇගයුම දුර්වල වී ගොස් තිබෙන ආකාරය පිලිබඳ මනා පිලිබිඹුවකි මෙය. වාමාංශික අර්ථයෙන් 'ප්‍රගතිශීලී' යන්නට වූ තේරුම වෙනුවට ප්‍රගතිශීලීත්වය පිලිබඳ නව අර්ථයක් ; අපට පුරුදු භාෂාවෙන් කියනවා නම් ප්‍රගතිය හා යහපත පිලිබඳ ප්‍රතිගාමී අර්ථයක් වර්ධනය වී තිබේ.
Comments
Post a Comment