Skip to main content

ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන්

 


සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල  සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ 'තුන්වන ලෝකය' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්‍රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට 'සංවර්ධනය වෙන්න බැරි ඇයි?' කියන ප්‍රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත, අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල අමීන් මේ පද්ධතිය තුල ගෝලීය උතුරේ රටවල් ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්කිරීම තුලින් සංවර්ධනය වන බව පැවසීය. 'පරායක්තතා න්‍යාය' (dependency theory) නමින් ප්‍රකට වූ ගුරුකුලයේ පුරෝගාමියෙක් ලෙස ‍ හෙතෙම පරිධියේ රටවල සිට ගෝලීය උතුරේ රටවල් වෙත සම්පත් ගලනය සිදුවන හැටි; ඒ තුල පරිධියේ රටවල ඌන සංවර්ධනය දිගටම පවතින හැටි පෙන්වා දී තිබේ. පරිධියෙන් උද්ධරණය කෙරෙන අතිරික්තය ඔහු හඳුන්වන්නේ 'අධිරාජ්‍යවාදී කුලිය' යන නමින්ය.

පහත සම්මුඛ සාකච්ඡාව 2018 වර්ෂයේ, එනම් මිය යාමට ටික කලෙකට පෙර ඔහු ඉන්දියාවේ Frontline සගරාව සමග කල සංවාදයක සිංහල පරිවර්තනයයි. ගෝලීයකරණය, අසමානතා වර්ධනය වීම, නව ලිබරල් යුගය තුල රාජ්‍යයේ කාර්යභාරය, සමකාලීන ධනවාදී ලෝකය තුල ෆැසිස්ට්වාදයේ නැගීම, අද්‍යතන යුගයේ විප්ලවවාදී අරගල, චීන සංවර්ධන මොඩලය හා අද යුගයට මාක්ස්වාදයේ අදාලත්වය වැනි බොහෝ දෑ පිලිබඳ මෙම සාකච්ඡාවේ කථාබහ කෙරේ. කියැවීමේ පහසුව පිණිස මෙය කොටස් දෙකකින් පල කරන්නෙමු.

·          

ඔබ සමකාලීන ගෝලීයකරණය නිර්වචනය කරන්නේ ‘සාමාන්‍යකෘත වූ ඒකාධිකාරී ධනවාදයේ’ අංගයක් ලෙස. ගෝලීයකරණයේ ඉතිහාසය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

ගෝලීයකරණය අලුත් දෙයක් නෙමෙයි. මෙය ධනවාදයේ පැරණි සහ වැදගත් පැතිකඩක්. මෙය ඉන්දියානුවන් වන ඔබ අන් සියල්ලන්ට වඩා දන්නවා. බ්‍රිතාන්‍යය ඉන්දියාව 18 වන සියවසේ දී ආක්‍රමණය කල අතර, 20 වන සියවස දක්වා යටත් කරගෙන හිටියා. ඒකත් ගෝලීයකරණය තමයි. හැබැයි ඔබට අවශ්‍ය වූ ‍ගෝලීයකරණය නෙමෙයි, ඔබව ඉන් ගෝලීය ධනවාදී ක්‍රමයට අවශෝෂණය කරගනු ලැබුවා. ය‍ටත්විජිතකරණය කියන්නේ ගෝලීයකරණයේ එක් ආකාරයක්. එහෙත් ඉන්දියාවේ ජනතාව ඊට විරුද්ධව සටන් කොට නිදහස දිනාගත්තා. ඒ සමාජවාදී විප්ලවවාදී නායකත්වයක් යටතේ නෙවි, ගාන්ධි හා නේරුගේ නායකත්වයෙන් යුක්ත ජාතික-ජනතාවාදී නායකත්වයක් යටතේ.

19 වන සියවස අග පිහිටවූ කොංග්‍රස් පක්ෂය 20 වන සියවස තුල තම ක්‍රියාමාර්ග මෙහෙයවූ අතර 1947 දී නිදහස දිනාගත්තා. හැබැයි ඊට ගෙවන්ට සිදුවූ වන්දිය දෙයාකාරයි. පලමුව, ඉන්දියාවේ වැදගත් කොටසක්, එනම් පකිස්ථානය සහ පසුව බංගලාදේශය බවට පත්වූ කොටස් ඉන්දියාවෙන් වෙන් කලා. මෙය යටත්විජිතවාදීන් කල දුෂ්ට ක්‍රියාවක්. දෙවනුව, ඔබගේ නිදහස සාක්ෂාත් වූයේ ඉන්දියාවේ ධනපති පන්තිය නියෝජනය කල කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පුලුල් ජනතා සන්ධානයක් විසින්. කම්කරු පන්තිය මෙම සන්ධානය තුල නියෝජනය වූවා.

1947 දී නිදහස ලැබීමෙන් පසුව, අප වෙනත් ආකාරයක ගෝලීයකරණයක් අත් දුටුවා. 1955 බැංඩුං සම්මේලනයෙන් ඉක්බිති හැඩගැසුණු මෙම ආකෘතිය මම හඳුන්වන්නේ සම්මුතිගත ගෝලීයකරණය (negotiated globalisation) ලෙස. 1955 දී චීනයේ, ඉන්දියාවේ, ඉන්දුනිසියාවේ හා වෙනත් රටවල් ගණනාවක නියොජිතයන් ඉන්දුනිසියාවේ සම්මේලනයක් පැවැත්වූවා. මේ වනවිට ඉන්දියාව නිදහස ලබාගෙන, චීන කොමියුනිස්ට් පක්ෂය බීජිං නුවර අල්ලාගෙන සහ ඉන්දුනිසියාව ලන්දේසින්ගෙන් නිදහස ලබාගෙන ගතව තිබුනේ වසර කිහිපයක් පමණයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීයකරණය ද්වි-ධ්‍රැවීය එකක් වූ බව සහ එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර වූ මෙම ද්විධ්‍රැවීයතාවය කඳවුරු දෙක අතර වූ සීතල යුද්ධය නිසා ඇති බූ බව කීම මේ වනවිට විලාසිතාවක් වෙලා. මෙය සාවද්‍යය අදහසකි. 1945 සිට 1980 හෝ 1990 දක්වා පැවැති, මා සම්මුතිගත ගෝලීයකරණය ලෙස හඳුන්වන ක්‍රියාවලිය හුදෙක් පාර්ශව දෙකක් අතර වූ සම්මුතියක් නොව පාර්ශව කිහිපයක් අතර වූ සම්මුතියක්. අවම වශයෙන් අපට හවුල් හතරක් හඳුනාගන්ට පුලුවන්. පලමුව, එක්සත් ජනපදය, බටහිර යුරෝපය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල සහ ජපානය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව ආදී වූ ඔවුන්ගේ හවුල්කරුවන්. දෙවන හවුල සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපීය රටවල් පද්ධතිය. තෙවන සාධකය චීනය. සමාජවාදී කඳවුරට අයත් රටක් වුවත් 1950 ගණන්වල සිට එය කැපී පෙනෙන ලෙස ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කලා. අනෙක් හවුල වන්නේ, මා කලින් කී බැංඩුං හි මුණ ගැසුණු, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නිර්මාණය කරන්ට මූලික වූ රටවල්වල හවුල. ආසියානු රටවල් පමණක් නොව, අප්‍රිකාවේ අලුත නිදහස් වූ රටවල් කිහිපයක්ද මෙම හවුල තුල න‍ියෝජනය වූවා.

පසුව මෙම හවුලට පෘතුගාල යටත්විජිත සහ දකුණු අප්‍රිකාව එක් වූවා. ලතින් ඇමරිකාවෙන් මෙම කණ්ඩායමට එකතු වූ එකම රට කියුබාව. මෙම හතරවන හවුලේ ආණ්ඩු බොහොමයක් ; ඉන්දියාව, නසාර්ගේ ඊජිප්තුව හා ආසියාවේ හා අප්‍රිකාවේ වෙනත් රටවල්වල ඇතැම් ආණ්ඩු ජාතික-ජනතාවාදී ආණ්ඩු. මේ අනුව නව ආකාරයක ගෝලීයකරණයක්, කදවුරු හතරක් අතර වූ ගැටුමේ සහමිතිය ලෙස ඇති වූ බහුධ්‍රැවීය ගෝලීයකරණයක් අපට දැකගන්ට පුලුවන්.

ආසියා‍වේ හා අප්‍රිකාවේ දෘෂ්ටිකෝණයෙන් බලන විට, මේ වූ කලී අධිරාජ්‍යවාදයට යම් යම් සහන දෙන්ට සිදුවූ, ඉන්දියාවේ හා වෙනත් ආසියානු හා අප්‍රිකානු රටවල ජාතික-ජනප්‍රියවාදී වැඩසටහන් අඩු වැඩි ලෙස පිලිගැන්මට සිදුවූ යුගයක්. ගෝලීයකරණයේ අවශ්‍යතා හා උවමනාවලට ගෝලීය දකුණේ රටවල් අනුගත වනු වෙනුවට, මේ යුගයේ සිදුවූයේ අපගේ ඉල්ලීම්වලට අනුගත වීමට අධිරාජ්‍යවාදී රටවලට බල කිරීමය. මෙම යුගයේ සම්මුතිගත ගෝලීයකරණය තුල රෙජිම වර්ග තුනක් අපට දක්නට පුලුවන්.

පලමුවැන්න, බටහිර රටවල, විශේෂයෙන් යුරෝපයේ, ඒ වගේම උතුරු ඇමරිකාවේ හා ජපානයේ සුබසාධන රාජ්‍යයන් ඇතිවීම. මෙය කම්කරු පන්තියේ ජයග්‍රහණවල ප්‍රතිඵලයකි. යුරෝපය තුල ෆැසිස්ට්වාදය  හා නාසිවාදයට එරෙහි සටනේ දී රතු හමුදාවට සමගාමීව කම්කරු පන්තීන් කල දායකත්වය මීට පසුබිම් වූ වැදගත් හේතුවක්.

දෙවැන්න,  මෙය බහුවිධ සමාජවාදී අත්හදා බැලීම්වල යුගයක්. සෝවියට් මොඩලය හා චීන මොඩලය වගේම වියට්නාම හා කියුබානු මොඩල ගැන අපට මෙහිදී කථා කල හැක.

තෙවැන්න, ඉන්දියාව බඳු රටවල දැකගත හැකි වූ මොඩලය. නේරු යටතේ හා ඉක්බිති විශේෂයෙන්ම ඉන්දිරා ගාන්ධි යටතේ දැකගත හැකි වූ ආකෘතිය. මේ යුගයේ තමයි ඊජිප්තුව තුල අබ්දුල් ගමල් නසර්ගේ නැගීම සිදුවූයේ. ඒ වගේම මැදපෙරදිග හා අප්‍රිකානු රටවල 'සමාජවාදී' ලෙස හැඳින්වූ ප්‍රගමනයන්.


මෙම ආකෘතීන් ත්‍රිත්වය කාලයත් සමග වර්ධනය වී, එහි ඓතිහාසික සීමාවට එලැඹ, ක්‍රමානුකුලව බිඳ වැටුණා. 1991 සෝවියට් සංගමය තුල වූ බිඳ වැටීම වැන්නක් බෙහෙවින් සාහසිකයි. එරට වෙන් වෙන් සමූහාණ්ඩු 15 කට වෙන්වූ අතර ඉන් බොහෝ සමූහාණ්ඩු යුරෝපය වෙත නැඹුරුව යුරෝපීය සංගමයේ හා නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත්තා. බටහිර රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් පරාජය වූවා. පෙරදිග ලෝකයේ කොමියුනිස්ට්වාදීන් ලැබූ පරාජය බටහිර රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයට නෙමෙයි හේතු වූයේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බටහිර දී පැරදුණා, ඔවුන් සමාජ ලිබරල්වාදීන් බවට පත්වූවා. අද වනවිට බටහිර යු‍රෝපයේ රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී ආණ්ඩුත්, සාම්ප්‍රදායික දක්ෂිනාංශික පක්ෂවල ආණ්ඩුත් අතර එතරම් වෙනසක් නැහැ. මේ සියල්ලන් සමාජ ලිබරල්වාදීන්. එනම් මේ දෙපිරිසම ගෝලීය ඒකාධිකාරී ප්‍රාග්ධනය සමග හවුල් වී ඉන්නවා.

තෙවන මොඩලය, එනම් අපගේ මොඩලය ආකාර කිහිපයකින් කැඩී ගොස් තිබෙනවා. ඇතැම් රටවල හමුදා කුමන්ත්‍රණ සිදුවිය. ඉන්දියාව බඳු රටවල දේශපාලන පර්යාය දක්ෂිණාංශය වෙත ගමන් කල අතර ඊනියා ලිබරල් ගෝලීයකරණයට යටත් වූවා. ඊජිප්තුවෙත් සිදුවූයේ එයයි. නසාර්ගෙන් පසුව බලයට ආ අන්වර් සදාත් සමාජවාදය කියලා කියන 'කෙහෙල්මල' එක්ක අපිට කිසිදු ගනුදෙනුවක් නැති බව කී අතර ධනවාදය වෙත, එක්සත් ජනපදය සමග සන්ධානයක් වෙත යා යුතු බව කීවා. මාඕගේ මරණයෙන් ඉක්බිති චීනය තමාටම ආවේණික වූ ආකාරයකින් නව පන්නයේ ගෝලීයකරණයක් වෙත ගමන් කලා. චීනය ඉන්දියාවෙන් වෙනස් වන්නේ කොමියුනිස්ට් පක්ෂ පාලනය නිසා පමණක් නෙවි; යම් යම් ආර්ථික-සමාජ සුවිශේෂතා ද පවතී. ඉන්දියාවයි චීනයයි අතර තිබෙන විසාලතම වෙනස තමයි චීනය රැඩිකල් විප්ලවයක් කරලා තිබෙනවා, ඉන්දියාව තවම නැහැ.

මේ අනුව අපට විවිධ රටාවන් දැකගත හැකියි. මේ පද්ධතීන් තුන; බටහිර රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සෝවියට් ක්‍රමය හා අපගේ ක්‍රමය තුල වූ බිඳ වැටීම තුල අධිරාජ්‍යවාදී ධනවාදයට ප්‍රහාරාත්මක තලයකට ගොස් නව ආකාරයේ ගෝලීයකරණයක් බිහිකිරීම සඳහා තත්වයන් සපයා දුන්නා.

මෙම නව ගෝලීයකරණ රටාවේ ලක්ෂණ මොනවාද?

 මෙම ප්‍රහාරය සමාජවාදී, කොමියුනිස්ට්වාදී හා ජාතික-ජනප්‍රියවාදී ආණ්ඩුවල බිඳ වැටීම නිසා පමණක් සිදුවූ දෙයක් නෙමෙයි. මෙය සම්බන්ධයි අධිරාජ්‍යවාදී-ධනපති රටවල සිදුවූ වෙනස්කම් සමග. ඒකාධිකාරී ධනවාදය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඒකාධිකාරී ධනවාදය ආරම්භ වූයේ 19 වන සියවසේ. ජෝන් ඒ හොබ්සන් හා රූඩොල්ෆ් හිල්ෆර්ඩිං බඳු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් එය විශ්ලේෂණය කලා. මෙකල ලෙනින් කල දේශපාලන නිගමනය වූයේ ඒකාධිකාරී ධනපති ක්‍රමය තුල ධනවාදය විනාශමුඛයට ගොස් සමාජවාදී විප්ලව සඳහා තත්වයන් ඇති කරන බව. ඇත්තටම, විසි වන සියවසේ ඇති වූ සමාජවාදී විප්ලව සියල්ලම පාහේ ඇති වූයේ ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියේ පරිධිය තුල.

එය පටන් ගත්තේ අධිරාජ්‍යවාදයේ දුර්වලම පුරුක ලෙස ලෙනින් හැඳින්වූ අර්ධ-පරිධියේ රටක් වූ රුසියාවේ. පසුව පරිධියේ රටවල් වූ වියට්නාමය හා කියුබාව බඳු රටවල. බටහිර කිසිවක් සිදුවූයේ නැත. එක්සත් ජනපදයේ, බටහිර යුරෝපයේ හෝ ජපානයේ සමාජවාදී විප්ලව හටගත්තේ නැහැ.

ඒකාධිකාරී ප්‍රාග්ධනය අවධි කිහිපයක් තුලින් ගමන් කොට තිබෙනවා. පලමු අවධිය 19 වන සියවසේ අග සිට දෙවන ලෝක යුද්ධය දක්වා වු යුගය. මෙකල ඒකාධිකාරී ප්‍රාග්ධනය ජාතික ස්වරූපයක් ගත්තා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ජර්මානු අධිරාජ්‍යවාදය, ජපාන අධිරාජ්‍යවාදය හා ප්‍රංශ අධිරාජ්‍යවාදය ආදී ලෙස අපි කථා කලේ ඒ අනුව. මොවුන් පරිධියේ රටවල් ආක්‍රමණය කොට, ඒවා යටත් කරගත්තා පමණක් නෙමෙයි එකිනෙකා සමගත් යුද්ධ කලා.

මේ ගැටුම් නිසා ලෝක යුද්ධ දෙකක් ඇති වූවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ දේ තමයි බටහිර රටවල ඒකාධිකාරී ප්‍රාග්ධනය නව අවධියකට පිවිසීම. මම මෙය හඳුන්වනවා සාමාන්‍යකෘත ඒකාධිකාරී ප්‍රාග්ධනයේ අවධිය (generalised monopoly capital) කියලා. මෙහිදී කරුණු දෙකක් වැදගත්. පලමුව, ඒකාධිකාරී ප්‍රාග්ධනයට පුලුවන් උනා සමාජ නිෂ්පාදනයේ අනෙක් සියලුම ස්වරූප යටත් කරගැනීමට. මෙහි තේරුම, මිනිස් ක්‍රියාකාරකම් තුලින් නිෂ්පාදනය කරන වටිනාකම්වල විශාල ප්‍රමාණයක් අධිරාජ්‍යවාදී කුලියේ (imperialist rent) ස්වරූපයෙන් ඒකාධිකාරී ප්‍රාග්ධනය විසින් අවශෝෂණය කරගැනීම. මේක අපේ රටවල්වලත් සිද්ධ වෙනවා. මේ නව ගෝලීයකරණය තුල, අධිරාජ්‍යවාදයේ අතුරු ගිවිසුම්කරුවන් (sub contractors) බවට පරිධියේ රටවල් පත්වෙනවා.

ඉන්දියාව ඇසුරින් මෙය පහදාගනිමු. උදාහරණයක් ලෙස බැංගලෝරය ගන්න. බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ පමණක් නෙවි, යුරෝපයේ හා ජපානයේ ඒකාධිකාරී ප්‍රාග්ධනය සඳහා උප කොන්ත්‍රාත් සපයන ප්‍රදේශයක් ලෙස එය වර්ධනය වී තිබෙනවා.

ගෝලීය දකුණේ රටවලට මෙම ගෝලීයකරණය නිසා මුහුණ පාන්ට සිදුවන අභියෝග මොනවාද?

අපට අද දවසේ තිබෙන අභියෝගය තමයි විකල්පයක් සොයාගැනීම. ‍ගෝලීයකරණයේ මෙම රටාවෙන් එලියට ඒම අවශ්‍යයයි. වර්තමානයේ පවතින ඊනියා ලිබරල් ගෝලීයකරණය තුල G-7 රටවල් - එනම් එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය ඒකපාර්ශවීය ලෙස තීන්දු ගන්නවා. මෙම ගෝලීයකරණය පිලි නොගැනීම තමයි අප හමුවේ තිබෙන අභියෝගය. මේ ගෝලීයකරණය ගැන බොරු මායාවල් තියාගැනීම අවශ්‍ය නැහැ. අප්‍රිකානු රටවලට මේ ගෝලීයකරණය තුල සිදුවී තිබෙන්නේ ඔවුන්ගේ ජාතික සම්පත් ; තෙල්, ගෑස්, ඛණිජ සම්පත් හා වගාකල හැකි ඉඩම් කොල්ලකෑමට ලක්වීම. ඉන්දියාව හා ලතින් ඇමරිකාවේ වෙනත් රටවලට වෙනත් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අපගේ ලාභ මිනිස් ශ්‍රමය පාවිච්චියට ගෙන, අපගේ රටවල නිෂ්පාදනය කෙරෙන වටිනාකම් අධිරාජ්‍යවාදී පද්ධතියේ ඒකාධිකාරී කුලියේ වාසිය සඳහා හුවමාරු කිරීම අපට මුහුණ දෙන්ට සිදුව තිබෙන එක් ප්‍රශ්නයක්.

අප ඉදිරියේ තිබෙන්නේ සමාජවාදය හෝ ධනවාදය යටතේ විනාශමුඛයට යාම යන විකල්ප දෙක පමණක් බව ජෝන් බෙලමි ෆොස්ටර් කියනවා. ධනවාදය යල් පැන ගොස් තිබෙන බව ඔබ ලියා තිබෙනවා. ධනවාදය යල් පිනූ සමාජ ක්‍රමයක් වන්නේ ඇයි?

මේ වනවිට අප ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 1970 ගණන්වල මැද, ධනවාදයේ සංවර්ධිත කේන්ද්‍රයේ ; එනම් එක්සත් ජනපදය, යුරෝපය හා ජපානයේ වර්ධන වේගය පෙර පැවැති වසර තිහේ වේගයෙන් අඩක් දක්වා කඩා වැටුණා. මෙය යලි පෙර තිබූ තත්වයට පත්ව නැහැ. මෙහි තේරුම අර්බුදය දිගටම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව. ජර්මනියේ හෝ වෙන කොහෙ හ රි වර්ධන වේගය සියයට 1.2 සිට 1.3 දක්වා වැඩි වීම නිසා අපි අර්බුදයෙන් ගොඩ එමින් ඉන්නවා වගේ කථා විහිලු සහගතයි.

මේක පද්ධතිමය අර්බුදයක්. එනම් L අකුරේ හැඩය සහිත අර්බුදයක්. සාමාන්‍ය ධනවාදී අර්බුද U හැඩයේ අර්බුද ලෙස සැලකේ. එනම් අවපාතය, සුලු ව්‍යුහාත්මක ගැලපුම් හා පසුව වර්ධනය. L අර්බුදයක ලක්ෂණය තමයි අවපාතයෙන් ගොඩ ඒමේ හැකියාවක් නොතිබීම. මෙහි අර්ථය ක්‍රමය වෙනස් විය යුතු බව. සුලු ව්‍යුහාත්මක වෙනස්කම් සෑහෙන්නේ නැහැ. ධනවාදයේ පරිහාණිය මින් පෙන්නුම් කෙරෙනවා. හැබැයි මේ පරිහාණිය භයානකයි. මොකද ධනවාදය තමුන් විනාශ වන තෙක් නිහඩව ඉන්නේ නැහැ. තම තත්වය ආරක්ෂා කරගන්ට, කේන්ද්‍රයේ අධිරාජ්‍යමය ආධිපත්‍යය ආරක්ෂා කරගන්ට ඔවුන් වඩාත් සාහසික උපමාරු වෙත යොමු වෙනවා. මේක තමයි ප්‍රශ්නයේ මුල. සමහරු කියනවා 'අන් කවර කලෙකටත් වඩා යුද්ධය අත ලග' කියලා. මේක ‍තේරුමක් නැති කථාවක්. යුද්ධය පටන් ගත්තේ 1991 දී, සෝවියට් සංගමයේ වැටීම හා ඉරාක යුද්ධය සමග.

ඉන්පසුව යුගොස්ලෝවියාව බිඳ වැටීම සමග යුරෝපයේ යුද්ධය ඇති වූවා. මේ වනවිට යුරෝපීය පද්ධතිය දෙදරා යන්ට පටන් ගෙන තිබෙනවා. මේක එක් පසෙකින්, පටි තද කරගැනීමේ පිලිවෙත් ලෙස නිශේධනාත්මකව ප්‍රකාශිතයි. අනෙක් අතින්, සැබෑ අභියෝගයට පිලිතුරක් නොවන බ්‍රෙක්සිට් බඳු දේශපාලන ප්‍රතිචාර ප්‍රමාණය අපට දැකගත හැකියි. ස්පාඤ්ඤ කැටලන් ප්‍රශ්නය, නැගෙනහිර යුරෝපයේ උග්‍ර ප්‍රතිගාමී, ස‍්වෝත්තමවාදී ආණ්ඩු ඇති වීම මේ අර්බුදයේ ප්‍රකාශනයන්. මේ නිසා යුද්ධය නවත්වා ගන්නේ කෙසේදැයි අපට කථා කරන්ට බැහැ. මන්ද යත්, යුද්ධය හා ව්‍යසනකාරී තත්වයන් පරිහාණියට පත්වෙමින් තිබෙන මෙම ක්‍රමයේ ආවේණික ලක්ෂණ වන නිසා.

Comments

Popular posts from this blog

කොවිඩ් -19 මදිවට IMF! : කොවිඩ්වලින් වැටෙන ආර්ථිකයට IMF ඇනීම

 ශිරන් ඉලන්පෙරුම  කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ එහි ආර්ථික ඉතිහාසයේ ඉතා අසීරු කාල පරිච්ඡේදයකය. 2012 වසරේ සිටම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින්  නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇති අතර, 1990 දශකයේ මැද භාගයේ නොදුටු, දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇති බාහිර ණය තොග ඉතා ඉහළ  මට්ටමකට ළඟා වී ඇත. 2016 දී දීර්ඝ කාලීන පියවීමේ / ගෙවීමේ ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1 ක මුදලක් ණයට ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇති කර ගත්තේය.  රටේ දිනෙන් දින වැඩිවන ණය නිසා හීන වී යන ආර්ථික වර්ධනය නවත්වා ගැනීමට ඉහත සඳහන් ණය මුදල උදව් වෙන බවට  පවසමින්  ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ණය ගිවිසුම සාධාරණීකරණය කළහ. පුරෝකථනය කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි මාලාවක් මේ හා සමග නිකුත් කලේය. එනම්, රජයේ වියදම් අඩු කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් මූල්‍ය හිඟය අඩු කිරීමයි. මුදල් අවප්‍රමාණය කෙරුණි. ආනයන නිදහස් කෙරුණි. ඉන්ධන සහ පොහොර සහනාධාර ඉවත් කෙරුණි. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවන ලදී.  නමුත් මේවා සැබවින්ම වැඩ කළා ද? 2016 සහ 2019 අතර වර්ධන වේගය ( ජාත්‍යන්

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය

රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ජය නොගත් විකල්ප යථාර්තයක ඇතැම්විට රුසියාවේ පාලක පක්ෂය වන්නට ඉඩ තිබූ මෙන්ෂෙවික් පක්ෂයට පසුව අත් වූ ඉරණම කුමක්ද? මෙම කෙටි ලිපි පෙල ඒ පිලිබඳවය. ***  මෙන්ෂෙවික්වරුන්ට වූ දේ ගැන කථා කිරීමට පෙර මෙන්ෂෙවික්වරුන් යනු කවුදැයි හදුනාගත යුතුය. මෙන්ෂෙවික්වරුන්ට සිදුවූ දේ ඔවුන් 'කවුද?', ඔවුන් 'කලේ කුමක්ද?' යන්න සමග තදබල ලෙස බැඳී පවතී.   බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් යනු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රවණතා දෙකකි. මෙම භේදය ඇති වූයේ 1903දීය. මෙකල යුරෝපයේ කම්කරු පාන්තික සමාජවාදී ව්‍යාපාරය හැඳින්වූ‍යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමිනි