Skip to main content

කොවිඩ් -19 මදිවට IMF! : කොවිඩ්වලින් වැටෙන ආර්ථිකයට IMF ඇනීම


 ශිරන් ඉලන්පෙරුම 

කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ එහි ආර්ථික ඉතිහාසයේ ඉතා අසීරු කාල පරිච්ඡේදයකය. 2012 වසරේ සිටම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින්  නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇති අතර, 1990 දශකයේ මැද භාගයේ නොදුටු, දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇති බාහිර ණය තොග ඉතා ඉහළ  මට්ටමකට ළඟා වී ඇත.

2016 දී දීර්ඝ කාලීන පියවීමේ / ගෙවීමේ ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1 ක මුදලක් ණයට ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇති කර ගත්තේය.  රටේ දිනෙන් දින වැඩිවන ණය නිසා හීන වී යන ආර්ථික වර්ධනය නවත්වා ගැනීමට ඉහත සඳහන් ණය මුදල උදව් වෙන බවට  පවසමින්  ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ණය ගිවිසුම සාධාරණීකරණය කළහ. පුරෝකථනය කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි මාලාවක් මේ හා සමග නිකුත් කලේය. එනම්, රජයේ වියදම් අඩු කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් මූල්‍ය හිඟය අඩු කිරීමයි. මුදල් අවප්‍රමාණය කෙරුණි. ආනයන නිදහස් කෙරුණි. ඉන්ධන සහ පොහොර සහනාධාර ඉවත් කෙරුණි. උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවන ලදී.  නමුත් මේවා සැබවින්ම වැඩ කළා ද?

2016 සහ 2019 අතර වර්ධන වේගය ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කාලය තුළ) 4.5% සිට 2.3% දක්වා අඩු විය.  2016 දී 4.4% සිට 2019 දී 4.8% දක්වා විරැකියාව ඉහළ ගියේය. උද්ධමනය  2017 දී 7.7% දක්වා ඉහළ ගියේය. මේ කාලය පුරාවටම නිෂ්පාදන ප්‍රමාණය  වර්ධනයක් පෙන්නුම් කළේ නැත. මෙම වසර තුනේදී පමණක් ඩොලර් බිලියන 10 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව මඟින් දළ දේශීය නිෂ්පාදිතයට වූ විදේශ ණය අඛණ්ඩව ඉහළ යමින් තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ගිවිසුම  කිසිඳු ආර්ථික වර්‍ධනයක්, ආයෝඡන වර්ධනයක්, රැකියා උත්පාදනය හෝ විදේශ ණය අඩු කිරීමක් සිදු කළේ නැත. කෙසේ වෙතත්, රුපියල් බිලියන 2 ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් 2017 දී සහ 2018 දී බිලියන 91 ක අතිරික්තයක් ද  ලබාදෙන්නට සමත් වුයේය. මෙසේ අතිරික්තයක් ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ "රාජ්‍ය මූල්‍ය විනය" තුළින් නොව රාජ්‍ය හා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවීම් අත්හිටුවීමෙනි. 

මුදල් ඇමතිවරයාගේ 2020 අයවැය කතාවට අනුව, නොගෙවූ බිල්පත්වල වටිනාකම රු. බිලියන 243 කි. මෙයට, පොහොර සඳහා රුපියල් බිලියන 23.9 ක්, ඖෂධ සඳහා බිලියන 31.4 ක්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා රුපියල් බිලියන 119 ක්,  වැඩිහිටියන්ගේ පොලී සහනාධාරය සඳහා බිලියන 45.8 ක් සහ රජයේ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සඳහා ගෙවිය යුතු බිලියන 22.1 ක් ද අයත් ය. 

මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඉදිරිපත් කිරීමට මෙම ‘ගෙවීම් කප්පාදුව’ රජයට උදව් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, නොගෙවූ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන්ට මුදල්   නොමැතිව  දැඩි අපහසුතා වලට මුහුණ පාන්නට  සිදු වූ අතර, එම කාලයේ පැවති අධික පොලී අනුපාතිකයට යටත්ව ණය ගැනීමට සිදු විය. තමුන්ගේ කාර්ය මණ්ඩලය අඩු කිරීමට ආයතන වලට සිදු වූයේය. එමඟින් රැකියා වියුක්තියද වැඩි විය. මෙවැනි සන්දර්භයක් තුළ මහජනයා නොයෙකුත් වර්ජන හා විරෝධතා සිදු කිරීම පුදුමයක් නොවේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම 2019 නොවැම්බරයෙන් පසුව අත්හිටවූ අතර, ඊට මාස 4 කට පමණ පසු කොවිඩ් -19 වසංගතය පළමු වරට ලංකාවට ඇතුල් වුණි. කොවිඩ්-19 ව්‍යාප්තියත් සමගම රට තුළ පෙර සිටම පැවතී බොහෝ ආර්ථික රෝග ලක්‍ෂණ තීව්‍ර වන්නට පටන් ගත් අතර, ණය ගෙවීම සම්බන්ධයෙන් යම් යම් අපහසුතා තිබු හෙයින් නව ඇප පැකේජයක් ලබා ගැනීම සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට නැවත යාමේ අවශ්‍යතාවක් පැන නැංගේය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ කොවිඩ්-19; කොරේ පිටට මරේ 

පෙර නොවූ විරූ ගෝලීය වසංගතයක් සහ ආර්ථික අවපාතයක් මධ්‍යයේ, 2016 සිට 2019 දක්වා ක්‍රියාත්මක වූ ආකාරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට බලපාන්නේ කොයි ආකාරයෙන් ද? ඉහත සඳහන් සිද්ධීන්, කරුණු කාරණා විමසන අපට මෙය ප්‍රධාන ප්‍රශ්නයකි. 

2020 මාර්තු සිට 2021 මාර්තු දක්වා කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විවිධ රටවල් අසූ පහක්  අතර පැවති කොවිඩ් -19 සම්බන්ධ ණය ගිවිසුම් 107 ක් විශ්ලේෂණය කිරීමෙන් ඔක්ස්ෆෑම් (OXFAM) ආයතනය අනාවරණය කලේ එම ගිවිසුම්වලින් 85% ක් රජයේ වියදම් අඩු කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත් කල බවත්, සෞඛ්‍යය අර්බුදයක සන්දර්භයක් තුල එලෙස වියදම් කපා දැමීම නිසා එම රටවල් වල ආර්ථික වර්ධනය විකෘති වී දීර්ඝ කාලීන අනතුරු වලට එම රටවල් වැටුණු බවත් ය. 

තවද  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් 31 ක රාජ්‍ය අංශයේ වැටුප් කප්පාදු කරන ලෙස දිරිමත් කර ඇති අතර රටවල් 14 ක බදු අගය වැඩි කරන ලෙසටත්, රටවල් 55 ක පොදු රාජ්‍ය වියදම් කප්පාදු කරන ලෙසටත්  යෝජනා කර ඇති බව විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත. මේ වන විට ප්‍රධාන වශයෙන්, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත්වල ආණ්ඩු 26 ක් 2020 සහ 2021 යන කාලයන් තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව මූල්‍ය සංස්ථාපනයන් (fiscal consolidation) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වැටුප් කප්පාදුව, සමාජ වියදම් කප්පාදු කිරීම සහ සමාජ ආධාර වැඩසටහන් අවම  කිරීම ඇතුළු මේ සියලු කප්පාදු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථයන් 10 ට  සෘජුවම පටහැනි වන අතර  එහි බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ  කාන්තාවන්ට, අඩු ආදායම්ලාභී පවුල්වලට සහ අවදානමට ලක් වූවන්ට ය යන්න ඔක්ස්ෆෑම් (OXFAM) වාර්තාව ඉතා කනස්සල්ලෙන් සඳහන් කරයි. 

වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ, පශ්චාත් වසංගත කාල පරිච්ඡේදයේ සිදු කරන  කප්පාදු මඟින් ආර්ථිකය නැවත ගොඩ ගැනීමට කරන උත්සාහයන් අඩපණ කළ හැකියි යන්නයි. ඊට අමතරව, මෙසේ සිදු කරන කපා හැරීම් වල සියලු බර දුප්පත් ජනතාව සහ මධ්‍යම පන්තිකයන් ට දැරීමට සිදුවෙන අතර  වසංගතයෙන් මේ වන විටත් සුවය ලබා ඇති පොහොසතුන්ගෙන් ආර්ථිකය යලි ගොඩගැනීමට අපේක්ෂා කරන දායකත්වය බෙහෙවින් සුලු එකක් වන බවයි. 

ඔක්ස්ෆෑම් ආයතනයේ තර්කය සහේතුකය. කොවිඩ් -19 වසංගතය නොදියුණු රටවලට දැඩි ලෙස බලපාන්නට එක් හේතුවක් නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද මූල්‍ය සංස්ථාපකයේ නියෝගය මත රාජ්‍ය වියදම්  සහ සමාජ සේවාවන් සඳහා කරන වියදම් කපා හැරීමයි. සංසන්දනාත්මක වාසිය පදනම් කරගෙන සිදු කරන නිදහස් වෙළඳාම් ප්‍රතිපත්ති ද මීට වගකිව යුතු බව  කෙනෙකුට කිව හැකිය. උදාහරණයක් ලෙස ගතහොත්, චීනය, ජපානය සහ දකුණු කොරියාව වැනි කාර්මිකකරණය වූ ජාතීන්ට වසංගතයට එරෙහිව සම්පත් බලමුලු ගැන්වීම ඉතා පහසුය. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රධාන වශයෙන් අදායම් ලබන ශ්‍රී ලංකාව වැනි සේවාවන් විකුණන රටවල්වලට කෝවිඩ්-19 වසංගතය නිසා සිදුවන පාඩු එමටය. මේ නිසා එවැනි රටවල්වලට ආර්ථික කඩාවැටීම් වලින් ගොඩ ඒම අපහසුය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන කොන්දේසි රටට වාසිදායක නොවන බව පෙන්වා දීමට 2016 සිට 2019 දක්වා කාලය ප්‍රමාණවත් නොවේ නම්, කොවිඩ් -19 වසංගතය සමඟ පොරබදමින් සිටින රටවලට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබා දුන් කොන්දේසි කෙසේ බලපෑවේ දැයි සොයා බැලීම වටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රමය ඇන්ගෝලාව සහ ටියුනීසියාව අස්ථාවර කරයි

දකුණු අප්‍රිකානු රටක් වන ඇන්ගෝලාව තෙල් අපනයනයෙන් උපයන ආදායම 90% ක් පමණ වන අතර රජයේ ආදායමෙන් එය තුනෙන් එකක් පමණ වේ. ඔවුන්ගේ ආර්ථික හා සමාජ ස්ථාවරභාවය බොහෝ දුරට රඳා පවතින්නේ ගෝලීය තෙල් මිල මත වන අතර, 2014 දී තෙල් මිල පහල යාමත් සමග අඛණ්ඩව වසර 5 ක් තිස්සේ ආර්ථිකය කඩා වැටුණි. 2020 වන විට ඇන්ගෝලාවේ  ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 120% දක්වා ඉහළ ගොස් ඇත. 

2018 දී ඇන්ගෝලාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළඹුණි. බ්ලූම්බර්ග් ආයතනය වාර්තා කරන ආකාරයට, මෙම ගිවිසුමට අනුව, 'ඇන්ගෝලා ජාතික තෙල් සමාගමක් වන සොනංගෝල් සහ දියමන්ති සමාගමක් වන එන්ඩියාමා හි අර්ධ කොටස් ඇතුළුව ව්‍යාපාර 195 ක් විකිණීම ට ඇන්ගෝලාව පොරොන්දු වී තිබේ. මෙසේ විකිණීමෙන් රාජ්‍ය මූල්‍ය තත්වය ශක්තිමත් කිරීමටත්, ආර්ථිකය තුළ රාජ්‍යයේ භූමිකාව අඩු කිරීමටත් අපේක්ෂා කෙරුණි. වසංගතය පහව ගිය පසු ඉන්ධන සහනාධාර ඉවත් කිරීමට සහ පොදු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට ඇන්ගෝලානු රජය තීරණය කලේය. 

ශ්‍රී ලංකාව මෙන් නොව, ඇන්ගෝලාව කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව කටයුතු කිරීමට තෝරාගත්තේය. ඉන්ධන සඳහා වන සහනාධාර ද කපා හැර ඇත. ද ඉකොනොමිස්ට් (The Economist ) පුවත්පතට අනුව වාර්ෂික උද්ධමනය 25% පමණ දක්වා ඉහළ ගොස් ඇත. ඉහළ යන ජීවන වියදම සහ ඉහළ විරැකියාව, 2016 සහ 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාව අත්වින්දා හා සමාන  වර්ජන හා විරෝධතා රැල්ලකට තුඩු දී ඇති නමුත් ඒවා ලංකාවේ ඇතිවූ විරෝධතා වලට වඩා මාරාන්තිකය.  

ටියුනීසියාවට ඇත්තේ තරමක් විවිධාංගීකරණය වූ ආර්ථිකයක් වන අතර එහි ප්‍රධාන විදේශ මුදල් ඉපැයීම් මාර්ග වන්නේ සංචාරක කර්මාන්තය සහ නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික උපකරණ අපනයනය කිරීම ය. කෙසේ වෙතත්, එය ඩොලර් බිලියන 5 ක පමණ වෙළඳ හිඟයක් පවත්වාගෙන යයි. වසංගතය මධ්‍යයේ සංචාරක ව්‍යාපාරය ඇණහිටීමත් සමඟ 2020 දී රටේ දළ දේශීය නිෂ්පාදිතය 8.6% කින් පහත වැටුණි. වසංගතයට පෙර 14% ක් තරම් ඉහළ මට්ටමක පැවති රැකියා වියුක්තිය 2020 දී 17% දක්වා ඉහළ ගිය අතර තරුණ විරැකියාව 36% කින් වැඩි විය. රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 88% දක්වා ළඟා විය. වසංගතය ආරම්භ වීමත් සමඟම 2020 අප්‍රේල් මාසයේදී, හදිසි සහන ලෙස ඩොලර් මිලියන 745 ක් ණයට ගැනීම සඳහා ටියුනීසියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමඟ වේගවත් මූල්‍ය උපකරණ (Rapid Financial Instrument) ගිවිසුමකට එළඹුණි.

ටියුනීසියාව 2020 දී 11.5% ක මූල්ය හිඟයක් වාර්තා කල අතර පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇඟවූයේ එම හිඟය 9% ක්  පමණ විය හැකි බවයි. එය රජයේ නිල ඉලක්කය වූ 6% ට වඩා වැඩි ය. මෙම කරුණ හේතු  කොට ගෙන කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින්  ටියුනිසියාවේ රාජ්‍ය අංශයේ වැටුප් සහ බලශක්ති සහනාධාර කපා හරින ලෙසටත්, එබඳු තවත් කප්පාදු පිලිවෙත් සමූහයක් ක්‍රියාත්මක කරන ලෙසටත්තව ටියුනිසියාවට නියම කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නිර්දේශ ඉදිරිපත් කොට තිබෙන්නේ වැඩෙන විරැකියාව ගැන තරුණ විරෝධතා මාලාවක් මතු වෙමින් පවතින අතරවාරයේය. 

ස්වාභාවිකවම, කොවිඩ් -19 වසංගතය ටියුනීසියාවේ පෙර පැවති ගැටලු තීව්‍ර  කළේය. මෙයට අමතරව  ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ටියුනිසියාව මත පැනැවූ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බඳු විය.  සහනාධාර කප්පාදු කිරීම ජීවන වියදම ඉහළ නැංවීමට හේතු වූ අතර පොදු වැටුප් කප්පාදු කිරීම කුටුම්භවල මිලදී ගැනීමේ හැකියාව අඩු කරන බැවින් මේවා තවත් රට අගාධයට ගෙන යයි. 

කෙන්යානුවන්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්  ගිවිසුමට විරෝධය දක්වයි

කෙන්යානු පුරවැසියන් පාරට බැස විරෝධය පළ කරමින් මැයි මාසයේදී රජය සමඟ අත්සන් කරන ලද ඩොලර් බිලියන 2.34 ක දිගු අරමුදල් පහසුකම අවලංගු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබේ. #StopLoaningKenya සහ #StopGivingKenyaLoans වැනි හෑෂ්ටැග් කෙන්යාවේ සමාජ මාධ්‍ය තුළ මැයි මාසයේ සිට ඉතා ප්‍රසිද්ධ වී  ඇති බවට බටහිර මාධ්‍ය පවසයි. 1980 ගණන් වල සිට කෙන්යාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග විවිධාකාර වූ ගිවිසුම් 7කට එළඹී ඇති අතර, මෙකී ගිවිසුම්වල ප්‍රතිඵල නිසා ඇති වූ ප්‍රතිවිපාක ආර්ථික තත්වය වඩා දුෂ්කර කිරීමෙහිලා හේතු වී තිබේ. 

ජ්‍යත්යන්තර මුල්‍ය අරමුදල කෙන්යාවට  ලබා දුන් ඇති නිර්දේශ හා කොන්දේසි නිසා රජයේ සේවාවල විශාල කඩාවැටිමක් සිදුවූ අතර සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි සහනාධාර ඉවත් කිරීම සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට තදින් බලපා ඇත. බොහෝ සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් මෙම කාලය හඳුන්වන්නේ “නැතිවූ දශකයක්” ලෙසයි. කෙන්යාවේ පමණක් නොව, IMF වැඩසටහන්වල පැටලී සිටි බොහෝ උප සහරානු අප්‍රිකානු රටවල් වල තත්වයද මෙයයි. 

වෙළඳාමේ හිඟය පියවීම සඳහා ණය ලබා ගත් ශ්‍රී ලංකාව මෙන්ම කෙන්යාව ද ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට බෙහෙවින් ණයගැතියි. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මේ වන විටත් විධිමත් රැකියා මිලියන දෙකක් එරටට අහිමි වී ඇති අතර පසුගිය දශක තුනක කාලය තුළ ආයෝඡන අනුපාතය පැවැතියේ ගෝලීය හා කලාපීය ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් අඩු මට්ටමකය. මෙම තත්වය  යටතේ, IMF ක්‍රමයට මූල්‍ය සංස්ථාපනයක් ගොඩනැගීම දිගු කාලීන ආර්ථික වර්ධනයක් ලබා නොදෙන අතර, එයට කෙන්යාවේ අඩු ආයෝජන ප්‍රවණතාවය ආපසු හැරවීමට නොහැකි වනු ඇත. ඉහළ බදු සහ පොලී අනුපාත මඟින් ලාභය තවදුරටත් හකුලුවන අතර දිගු කාලීන වර්‍ධනය සහ ප්‍රතිසාධනය ඉතා අපහසු කරවයි. 

විකල්ප මාර්ග සොයා යෑම  

වඩා හොඳ  වැටුප් හා සේවා කොන්දේසි ඉල්ලමින් ලංකාවේ ගුරුවරුන්, වෛද්‍යවරුන් සහ හෙදියන් වැනි රාජ්‍ය අංශයේ සේවකයින් මෑතකදී විරෝධතා වල නිරත විය. මේ අතර, වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවීමත් සමග ආහාර මිල ඉහළ යාම ගැන පාරිභෝගිකයින් පැමිණිලි කරමින් සිටී. පසුගිය මාස කිහිපය තුළ ගෝලීය ආහාර මිල ගණන් ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

මෙසේ විරෝධතා ඇතිවුයේ  අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සමාජ සේවා සඳහා වන  වියදම්  වසංගතයට පෙර මට්ටමින් ම තබාගෙන අයවැය හිඟයක් පවත්වා ගෙන යාමට රජය  උත්සහ දරමින් සිටියදී ය. වැට් බදු වැනි පරිභෝජන බදු ඉවත් කර ඇත. රජය යම් හෙයකින් IMF ක්‍රමයට අනුව මූල්‍ය සංස්ථාපනයක් අනුගමනය කරමින්, අත්‍යවශ්‍ය සේවා සඳහා කරන  වියදම්  කප්පාදු කරමින්, ඉන්ධන වැනි භාණ්ඩ සඳහා වන සහනාධාර තවදුරටත් ඉවත් කර ගත්තා නම් එමගින් මුදා හරින සමාජ අස්ථාවරභාවය ගැන කෙනෙකුට සිතා ගත හැකිය. එසේ සිදුවුවොත් කුටුම්භවල ආර්ථික තත්වය කඩා වැටෙන අතර දහස් ගණනක් දරිද්‍රතාවයට හා රැකියා වියුක්තියට ඇද වැටෙනු ඇත. මෙවැනි තත්වයක් උඩ  ඇතිවිය හැකි විරෝධතා සහ වැඩ වර්ජන හේතුවෙන් ආර්ථිකය සීඝ්‍රයෙන් නතර විය හැකිය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්  ඇප ලබා ගැනීමට 16 වතාවක් උත්සාහ කර ඇත. එහෙත්, මූල්‍ය සංස්ථාපනයේ සම්මත ව්‍යුහයට ඇතුලත් රජයේ වියදම් අඩු කිරීම සහ බදු වැඩි කිරීම සහ උද්ධමනය ඉලක්ක කරගත් මුදල් ප්‍රතිපත්ති (පොලී අනුපාත ඉහළ නැංවීම, උද්ධමනය පාලනය කිරීමට සඳහා මුදල් සැපයුම සීමා කිරීම) යන නියමයන් ආර්ථිකයේ ව්‍යුහය මූලික වශයෙන් වෙනස් කිරීමට අසමත් වී ඇත.

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ  මූලධර්මය වෙනුවට වෙනත් විකල්ප සොයා ගත හැක. තර්කානුකුලව ආනයනය කිරීම එක් උදාහරණයකි. නිදසුන් ලෙස 2016-2019 කාලය තුල ආනයන පිරිවැයෙන් 5% ක් වැය වී තිබෙන්නේ වාහන ආනයනය සඳහාය. ආනයනය කිරීම් තාර්කිකකරණය තුලින් විදේශ මුදල් ඉතිරි කරගැන්මට ඉඩ ලැබෙනු ඇත. මේ අතර, නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට සහ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීමට අඩු හා ස්ථාවර පොලී අනුපාත අවශ්‍ය වන අතර, බැංකු ගිණුම් වල ඉතුරුම් රැස් කරනවා වෙනුවට ආයෝඡනය කිරීමට මුදල් හිමියන් දිරිමත් කළ යුතුය. කෙසේ වෙතත්, ලබාගන්නා ණය නියම ආර්ථිකය (Real economy) තුළ ඵලදායි ආයෝඡනයකට යොදාගන්නා  බව සහතික කිරීම සඳහා රජය විසින් සකස් කරන ලද "ණය ඉලක්ක" වැනි නිසි යාන්ත්‍රණයන් අවශ්‍ය වේ. අවප්‍රමාණය වෙනුවට ආයෝජන භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ දීම සඳහා ස්ථාවර මුදල් වර්ගයක් යෝග්‍ය වේ.

ඔක්ස්ෆෑම් (OXFAM) ආයතනය පවසන පරිදි "මෙම තීරණාත්මක මොහොතේදී ආණ්ඩුවලට එකම මාවත ඔස්සේ ගොස් පවතින අසමානතාවයන් තව තවත් තීව්‍ර කළ හැකිය; නැතහොත් ප්‍රගතිශීලී ප්‍රයත්නයන් සහ ප්‍රතිසාධනය තුළින් පවතින අසමානකම් අවම කළ හැක."

පරිවර්තනය : පමෝදි කුරුප්පු. 

(How the International Monetary Fund adds fuel to Covid-19 fires යන හිසින් ද මෝර්නිංග් පුවත්පතතේ පල වූ ලිපියේ සිංහල පරිවර්තනයකි)  



Comments

Popular posts from this blog

ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන්

  සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල   සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ ' තුන්වන ලෝකය ' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්‍රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට ' සංවර්ධනය වෙන්න බැරි ඇයි ?' කියන ප්‍රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත , අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල අමීන් මේ පද්ධතිය තුල ගෝලීය උතුරේ රටවල් ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්කිරීම තුලින් සංවර්ධනය වන බව පැවසීය. ' පරායක්තතා න්‍යාය ' (dependency theory) නමින් ප්‍රකට වූ ගුරුකුලයේ පුරෝගාමියෙක් ලෙස ‍ හෙතෙම පරිධියේ රටවල සිට ගෝලීය උතුරේ රටවල් වෙත සම්පත් ගලනය සිදුවන හැටි ; ඒ තුල පරිධියේ රටවල ඌන සංවර්ධනය දිගටම පවතින හැටි පෙන්වා දී තිබේ. පරිධියෙන් උද්ධරණය කෙරෙන අතිරික්තය ඔහු හඳුන්වන්නේ ' අධිරාජ්‍යවාදී කුලිය ' යන නමින්ය. පහත සම්මුඛ සාකච්ඡාව 2018 වර්ෂයේ, එනම් මිය යාමට ටික කලෙකට පෙර ඔහු ඉන්දියාවේ Frontline සගරාව සමග කල සංවාදයක සිංහල පරිවර්තනයයි. ගෝලීයකරණය , අසමානතා වර්ධනය

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය

රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ජය නොගත් විකල්ප යථාර්තයක ඇතැම්විට රුසියාවේ පාලක පක්ෂය වන්නට ඉඩ තිබූ මෙන්ෂෙවික් පක්ෂයට පසුව අත් වූ ඉරණම කුමක්ද? මෙම කෙටි ලිපි පෙල ඒ පිලිබඳවය. ***  මෙන්ෂෙවික්වරුන්ට වූ දේ ගැන කථා කිරීමට පෙර මෙන්ෂෙවික්වරුන් යනු කවුදැයි හදුනාගත යුතුය. මෙන්ෂෙවික්වරුන්ට සිදුවූ දේ ඔවුන් 'කවුද?', ඔවුන් 'කලේ කුමක්ද?' යන්න සමග තදබල ලෙස බැඳී පවතී.   බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් යනු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රවණතා දෙකකි. මෙම භේදය ඇති වූයේ 1903දීය. මෙකල යුරෝපයේ කම්කරු පාන්තික සමාජවාදී ව්‍යාපාරය හැඳින්වූ‍යේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නමිනි