Skip to main content

චීනය යන්නේ බටහිර ගිය පාරේද? - 1 කොටස



පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරික / ශාස්ත්‍රඥ වෝල්ඩන් බෙලෝගේ China: an Imperial Power in the Image of the West? කෘතියේ සිංහල පරිවර්තනය කොටස් වශයෙන් අපිඉදිරිපත් කරමු. පහත පලවන්නේ එහි පලමු කොටසයි.  

***

හැඳින්වීම - චීනය බටහිර ගිය මගම යනු ඇද්ද? 

මෙම පොත් පිංච ලිවීමෙහි ලා අප පෙලඹවූ ප්‍රශ්නය නම්, චීනය ‍ගෝලීය තලය තුල එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය හා අනෙක් බටහිර බලවේග හා සමාන්තර අධිරාජ්‍යවාදී බලයක් බවට පත්ව තිබේද යන පැනයයි. 

ඉහත කී රටවල් 'අධිරාජ්‍යවාදී' යැයි කියන විට, ධනවාදී සමාජ ලෙස ඒවා පැන නැගීමට පසුබිම් වූ ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් අපගේ අවධානයට නතු වේ. පලමුවැන්න, ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන සමුච්චනය සිදුකල හැකි වූයේ ධනවාදී ප්‍රභූන් විසින් පහල පන්තීන්ට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩ අස්වාමීකරණ හා සූරාකෑමේ ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙසය. දෙවනුව, මේ රටවල ගෝලීය බලපෑම හා හෙජමොනික බලවේග ලෙස ඒවාවල නැගී ඒම ධනවාදී-නොවන සමාජවලට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් සමග සහසම්බන්ධ වී තිබේ. බලය හා ප්‍රචණ්ඩත්වය පාව්චිචි කොට, බටහිර ධනවාදී රටවල් නිල යටත් විජිත ඇති කලහ. පසුව ඒවා 'නව යටත් විජිත' බවට පත්විය. නව යටත් විජිත යන්නෙන් අදහස් වන්නේ නිල වශයෙන් නිදහස් වන නමුදු, තර්ජනය කිරීම්, අස්ථාවර කිරීම් හා වක්‍ර මාර්ගවලින් කෙරෙන බලපෑම් ආදී ක්‍රමවේද මගින් බටහිර බලවේගවල පාලනයට තවමත් රටවල් යටත් වී තිබෙන තත්වයයි. 

අපගේ පිලිතුර මෙසේය; චීන මහජන ජනරජය බටහිර හා සමාන බොහෝ ගති ලක්ෂණ පෙන්නුම් කරන නමුත්, පැරණි ධනවාදී බලවේග ලෝකයේ අවශේෂය සමග සම්බන්ධ වූ ආකාරය තුල දක්නට ලැබෙන ආධිපත්‍යයමය ව්‍යුහය හා සමාන වූවක් ගොඩනගා ගැන්ම දක්වා එම ගති ලක්ෂණ වර්ධනය වී ඇතැයි කිව නොහැක. අඩුම තරමින් දැනට තතු එබඳුය. 

පසුගිය අවුරුදු හතලිහක කාලය තුල ගෝලීය ධනවාදී බලවේගයක් ලෙස චීනයේ සිදු වී තිබෙන නැගීම වසර පන්සියයක කාලයකට පෙර සිට සිදුවූ බටහිර රටවල නැගීම සමග සංසන්දනය කල විට සුවිශේෂී ලක්ෂණ දරයි. බටහිර ලෝකයේ නැගීම මහා පරිමාණ කොල්ලකෑම් හා අති විශාල හිංසනයක් මගින් සලකුණු වූ එකකි. එය චීනය සම්බන්ධයෙන් දැකගත නොහැක. මේ තාක් දුරට චීනයේ මිලිටරි බලය මූලික වශයෙන් උපාය මාර්ගික ආරක්ෂාව කෙරෙහි යොමු වී තිබෙන එකක් වන අතර, එය සම්බන්ධ වූ යුද ගැටුම් දේශසීමා ගැටුම්වලට සීමා වී තිබේ. මේ යුද ගැටුම්වලින් එකක් දඩුවම් පැනවීමේ පරමාර්ථයෙන් සිදු කරන ලද්දක් වන අතර අනෙක යාබද රාජ්‍යයක ඉල්ලීම මත දියත් කල මහා පරිමාණ ආරක්ෂක මෙහෙයුමකි. 

වර්තමාන චීන ජනාධිපති ෂී ජිං පිංග් ගේ නායකත්වය යටතේ චීනය අතීතයට වඩා බලපෑම්සහගතව එය තමාට ජාත්‍යන්තර පද්ධතිය තුල හිමි විය යුතු යැයි කල්පනා කරන 'නිසි තැන' ඉල්ලා සිටීමේ මෙහෙයුමකට එලැඹ තිබේ. මෙය ගෝලීය හෙජමොනිය තමා වෙත අත්පත් කරගැන්ම සඳහා වූ මෙහෙයුමක් වීමට තිබෙන‍ ඉඩ අවමය. තවද බෙහෙවින් කථාබහට තුඩු දී තිබෙන තීරු හා මාර්ග ව්‍යාපෘතිය තක්සේරු කල යුත්තේ ලෝකය අල්ලා ගැනීමේ මහා පරිමාණ මෙහෙයුමක් ලෙස නොව චීනයේ ආර්ථිකය මත මහත් බරක් බවට පත්වී තිබෙන, අතිරික්ත කාර්මික ශක්‍යතාවය බාහිරකරණය කිරීමේ කැලඹිලිසහගත වෑයමක් ලෙසය. එමෙන්ම ආරක්ෂක වියදම් විශාල වශයෙන් වැඩි වී තිබුණද, බීජිංවල මිලිටරිමය අවධානය මූලික වශයෙන් එල්ල වී ත‍ිබෙන්නේ උපාය මාර්ගික ආරක්ෂක අරමුණු වෙතය. එයිනුත් වැඩි අවධානය දකුණු චීන මුහුද තුල එක්සත් ජනපදයේ මිලිටරි බලය විසින් අභියෝගයට පාත්‍ර කොට තිබෙන චීන බලපෑම අතික්‍රමණය කරගැන්ම කෙරෙහි යොමු වී තිබේ. 

චීනය 'ලෝකය වෙත ගිය' පසුගිය අවුරුදු විසි පහක පමණ කාලය තුල චීනයේ බැංකු, රජයේ ව්‍යාපාර හා පුරවැසියන් ඉලක්ක කොට ගෙන - ඔවුන් වෙත සත්කාරය සැපයූ රටවල් වල ඉන්නා විවිධ ප්‍රජාවන් විසින් ඔවුන්ගේ හැසිරීම ගැන විවිධාකාර පැමිණිලි ඉදිරිපත් කොට තිබේ. චීනය තුල මෙකී බලවේග හැසිරෙන හැටි ගැන ද සමාන විවේචන ඉදිරිපත් වී ඇත. එක්තරා අතකින් ගත්කල, මේවා යමෙක් තියුණු ඉගෙනුම් චක්‍රයක අතරමැද සිටින විට මුහුණ දීමට සිදුවන අඩුපාඩු හා වැරදි ලෙස සැලකිය හැක. තවද දකුණු චීන මුහු‍දේ ඇමරිකානු බලය අභියස චීනය ප්‍රශ්නසහගත ඒකපාර්ශවීය ක්‍රියාමාර්ගවලට යොමු වූ අවස්ථා ද තිබේ. තම අසල්වැසියන් කලබලයට පත් කරමින්, මතභේදයට තුඩු දී තිබෙන සමුද්‍රීය කලාප බලහත්කාරයෙන් අල්ලා ගැනීම උදාහරණයකි. 

චීනය අන්තර්ජාතික තලය තුල වඩ වඩා බලසම්පන්න වන තරමට, මෙම නිශේධනීය හැසිරීම් රටා අධිරාජ්‍යමය හෝ හෙජමොනික ව්‍යුහයන් නිර්මාණය වීම දක්වා වර්ධනය වීමේ අවදානමක් තිබේ. කෙසේ වූවද, ගෝලීය දකුණේ රටවලට වැදගත් විය යුතු ඒ හා සමාන තවත් ප්‍රශ්නයක් ඇත ; එනම් සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ප්‍රවේශය පිලිබඳ ගැටලුවයි. 

පසුගිය වසර හතලිහක කාලය තුල, සංවර්ධනය අත්පත් කරගැන්මේ කඩිකුලප්පුවෙන් මඩිනු ලැබ, චීනය උඩ සිට පහලට හසුරුවනු ලබන තාක්ෂණඥ ප්‍රවේශයක් සංවර්ධනය සම්බන්ධයෙන් අනුගමනය කොට තිබේ. මෙම ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රීය පාලනයට ප්‍රතිරෝධය දක්වන අතර, නූතනවාදී මානසිකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරමින් පාරිසරික සාධක සම්බන්ධ අසංවේදීත්වයක් ප්‍රදර්ශනය කරයි. සෝවියට් යුගයේ ස්ටාලින් යටතේ ක්‍රියාත්මක කල මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, එක්සත් ජනපදයේ හූවර් වේල්ල, ඉන්දියාවේ නර්මදා වේල්ල හා චීනයේ ජෝර්ජ් වේලි ව්‍යාපෘතිය - ඒ වගේම ලෝක බැංකු ආධාර යටතේ ලාඕසයේ ක්‍රියාත්මක නාම් තෙයූන් 2 ව්‍යාපෘතිය යන සියල්ල තුලම මෙම නූතනත්ව සංවර්ධන ආකෘතිය දක්නට ලැබේ. දෘෂ්ටිවාදී ප්‍රේක්ෂාව පුරාවට විසිරී සිටින විවිධ ආණ්ඩු හා නිල ආයතනවල සහයෝගය ලබන සවංර්ධනය පිලිබඳ 20 වන සියවසේ මෙම යල් පැන ගිය ප්‍රවේශය ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි හඳුන්වන්නේ 'මහාපරිමාණවාදය' නමිනි. තවත් ඇතමුන් එය 'නව-සංවර්ධනවාදය' සහ 'නිශ්කර්ෂණවාදය' ලෙස ද හඳුන්වති. සංවර්ධනය වෙමින් පවතින රටවල චීනය මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සිදු කොට තිබෙන ආයෝජන - විශේෂයෙන්ම අති විශාල යුරේසියානු භූමි තලයක් පුරාවට තීරු හා මාර්ග ව්‍යාපෘතිය යටතේ විසිරී ගොස් තිබෙන ආයෝජන ස්කන්ධය දෙස බැලූ විට, චීනය මුහුණ දී සිටින බරපතල අතිරික්ත ධාරිතා ප්‍රශ්නය විසඳා ගැන්ම වෙනුවෙන් සිදු කොට තිබෙන මෙම ආයෝජන පාරිසරික වශයෙන් ඉතාම නරක ප්‍රතිවිපාක ඇති කිරීමේ අවදානම සහිතය. 

චීනය අධිරාජ්‍යවාදී බලයක් බවට පත්වීම අනිවාර්යයක් නොවේ. එහෙත් එය වර්තමානයේ තීරණාත්මක මංසන්ධියකට එලැඹ සිටී. එක් අතෙකින්, ඊට බටහිර රටවල් ගිය මාවත අනුගමනය කරමින්, තාක්ෂණඥ සංවර්ධනවාදී මගක් ඔස්සේ යමින්, බටහිර තරම්ම විනාශකාරී බලවේගයක් බවට පත්වීමට පුලුවන. එසේ නැතිනම්, ගෝලීය දකුණ සමග සම්බන්ධ වීම සඳහා විකල්ප මගක් සොයා ගැන්මට පුලුවන. අන්තර්ජාතික සිවිල් සමාජයට මේ සම්බන්ධයෙන් කල හැකි වැදගත් දායකත්වයක් තිබේ.  චීනයේ නිල ආයතන, රාජ්‍ය සමාගම් හා පෞද්ගලික සමාගම් ක්‍රියාත්මක වන ආකාරය සමග හා චීන නායකත්වයේ තාක්ෂණඥ හා අධිකාරිවාදී නැඹුරුව සමග සංවර්ධනාත්මක විවේචනය තුලින් අභිමුඛ වීම මේ අනුව වැදගත්ය. 

අප මේ නිගමනයට එලැඹෙන්නේ විස්තීර්ණ විශ්ලේෂණයක ප්‍රතිඵල ලෙසය. අපගේ විශ්ලේෂණය චීනය තුල ධනවාදය ඓතිහාසිකව වර්ධනය වූ ආකාරයේ තිබෙන වැදගත් අංගලක්ෂණ පිලිබඳ විමසුමකින් ආරම්භ වේ. චීන ආර්ථික‍යේ ප්‍රධාන පැතිකඩ හා දුර්වලතා කෙරෙහි අධ්‍යයනයක් අප ඉක්බිති ඉදිරිපත් කරන අතර, ලෝකයේ අවශේෂ රටවල් සමග -විශේෂයෙන්ම ආන්දෝලනයට තුඩු දී තිබෙන තීරු හා මාර්ග ව්‍යාපෘතිය හරහා ඒ රටවල් සමග චීනය ගනුදෙනු කරන ආකාරය පිලිබඳ සාකච්ඡාවකින් ද, චීනයේ උපාය මාර්ගික තත්වය හා එය මුහුණ දෙන සංකීර්ණතා පිලිබඳ විමසුමක්ද, අවසාන වශයෙන් වර්තමානයේ චීනය හා සම්බන්ධ වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වන දකුණු චීන මුහුදේ අසල්වාසී රටවල් සමග එරට ගනුදෙනු කරන ආකාරය සම්බන්ධයෙන් චීනය මුහුණ දී සිටින උභතෝකෝටිකයන් ගැන වූ විග්‍රහයකින් ද අපගේ විශ්ලේෂණය සමන්විතය. 




Comments

Popular posts from this blog

මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (2) | මෙන්ෂෙවිකයන් අතර මතභේද

රු සියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුල වූ මෙන‍්ෂෙවික්-බොල්ෂෙවික් භේදය එහි අවසානය කරා ලගා වූයේ 1912 දීය. මෙම වර්ෂයේ දී අවසානාත්මක වශයෙන් බොල්ෂෙවිකයන් හා මෙන්ෂෙවිකයන් පක්ෂ දෙකක් ලෙස වෙන්වූහ. භේදය සම්පූර්ණ වූයේ කණ්ඩායම් දෙක අතර සමථයක් ඇති කිරීමට ට්‍රොට්ස්කි බඳු අය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් ඉක්බිතිවය. මෙලෙස බොල්ෂෙවිකයන්ගෙන් වෙන් වූවත්, මෙන්ෂෙවික් පක්ෂය සමජාතීය එකක් නොවීය. ඒ තුල විවිධ උප ප්‍රවණතා විය. මෙම උප ප්‍රවණතා අතර ගැටුම ඉතාම පැහැදිලිව කරලියට පැමිණියේ 1914 පලමු ලෝක යුද්ධය ඇතිවීමත් සමගය. පලමු ලෝක යුද්ධය යුරෝපය පුරා වූ සමාජවාදී පක්ෂ වෙත තීරණාත්මක කඩ ඉමක් ඉදිරිපත් කලේය. දෙවන ජාත්‍යන්තරය මූලධාර්මික වශයෙන් යුධ විරෝධී විය. කම්කරුවන් අතර ජාත්‍යන්තර සහයෝගීතාවය වෙනුවෙන් පෙනී උන් මෙම සංවිධානය යුද්ධය හට ගැනීමත් සමග තීරණාත්මක අර්බුදයකට ලක්විය. යුරෝපයේ බොහෝ සමාජවාදී පක්ෂ; මෙතෙක් තමා දැරූ ස්ථාවරය වෙනස් කරමින්, යුද්ධයේදී තම තමන්ගේ රටවල ආණ්ඩුවලට සහයෝගය දෙන ප්‍රතිපත්තියකට මාරු වූහ. මෙම ප්‍රවණතාවය 'සමාජ-ජාත්‍යොන්මාදවාදය' ලෙස එහි විවේචකයන් විසින් හඳුන්වන ලදී. වචනයෙන් සමාජවාදය ගැන කථ...

ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන්

  සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල   සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ ' තුන්වන ලෝකය ' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්‍රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට ' සංවර්ධනය වෙන්න බැරි ඇයි ?' කියන ප්‍රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත , අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල අමීන් මේ පද්ධතිය තුල ගෝලීය උතුරේ රටවල් ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්කිරීම තුලින් සංවර්ධනය වන බව පැවසීය. ' පරායක්තතා න්‍යාය ' (dependency theory) නමින් ප්‍රකට වූ ගුරුකුලයේ පුරෝගාමියෙක් ලෙස ‍ හෙතෙම පරිධියේ රටවල සිට ගෝලීය උතුරේ රටවල් වෙත සම්පත් ගලනය සිදුවන හැටි ; ඒ තුල පරිධියේ රටවල ඌන සංවර්ධනය දිගටම පවතින හැටි පෙන්වා දී තිබේ. පරිධියෙන් උද්ධරණය කෙරෙන අතිරික්තය ඔහු හඳුන්වන්නේ ' අධිරාජ්‍යවාදී කුලිය ' යන නමින්ය. පහත සම්මුඛ සාකච්ඡාව 2018 වර්ෂයේ, එනම් මිය යාමට ටික කලෙකට පෙර ඔහු ඉන්දියාවේ Frontline සගරාව සමග කල සංවාදයක සිංහල පරිවර්තනයයි. ගෝලීයකරණය , අසමානතා වර්ධනය...

දහයට 'නොනිදන' ඩඩ්ලි

ස හල් යුද්ධය සහල් මෝල් කතිපයාධිකාරයට ජය ගෙන දෙමින් අවසන් වී තිබේ. බලයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රචාරය කෙරුණු ප්‍රතිරූපය වූයේ ඔහු ශක්තිමත් පාලකයෙක් බවය ; රට ' විනයගත ' කිරීම සඳහා එබඳු තද පාලකයෙක් අවශ්‍ය බවය. මෙම තර්කය අනුව යමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුණි. අතිමහත් බලතල ජනාධිපතිවරයා වෙත පැවරුණි. තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුව වැඩ ඇල්ලුවේ ' නොහැක්කක් නොමැත ' ස්වරයෙනි. පසුගිය සැප්තැම්බර් 2 වන දා සහල් සඳහා උපරිම තොග මිලක් නියම කරමින් , ආණ්ඩුව සහල් මෙහෙයුම දියත් කලේ හදිසි නීති බලතල පවා සහිතවය. කෙසේ වුවද , ' කවුද රජා ' යැයි පැහැදිලි වීමට ගත වූයේ සති දෙක තුනකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යාම නිසා පීඩාවට පත් පාරිභෝගික ජනයා සඳහා වූ සහනයක් ලෙස සහල් සඳහා උපරිම තොග මිලක් නීතියෙන් නියම කල ආණ්ඩුව - එම මිලට සහල් සැපයුම ප්‍රතික්ෂේප‍ෙ කොට ඒවා ගබඩාවල රඳවා ගෙන සිටින විශාල ව්‍යාපාරිකයන්ට එරෙහිව - හමුදා සේනාංක ද යොදාගෙන කල මෙහෙයුම මේ වනවිට අත්හැර දමා ඇත. මිල කවරක්දැ ' යි සහල් මෝල් හිමියන් විසින්ම නිවේදනය කොට තිබේ. මෙය සිදුවූ පලමු ...